අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ දින (30), ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක අවධාරණය කර සිටියේ ආයතනවල සේවකයන් ඉවත් නොකර රැක ගනිමින් මෙම වසංගතය සමඟ මතුව ඇති අභියෝගවලට මුහුණ දෙන ලෙස යි.
බැංකු ණය සහන ලබා ගැනීම, ණයවර ලිපි විවෘත කිරීමේ දී ඇති ගැටලු විසඳා ගැනීම, ඇඟළුම් සේවකයන් සඳහා එන්නත්කරණය, කොවිඩ් මාර්ගෝපදේශවලට අනුව නිමි ඇඳුම් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූහ.
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන කාර්යය වෙනුවෙන් වෙන ම අමාත්‍යංශයක් හඳුන්වාදීම සම්බන්ධව ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමයේ සභාපති ලලන්ත වතුදුර මහතා මෙහි දී සිය සංගමයේ ප්‍රණාමය පිරිනැමුවේ ය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් දැනට මාස 24කට ආසන්න කාලයක් සිය ව්‍යාපාර කටයුතු අඩපණ වී ඇතැයි පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස සිය ව්‍යාපාර හා වෙළඳාම් කටයුතු පවත්වා ගෙන යාම සඳහා මුදල් අමාත්‍යංශය මැදිහත්ව හදිසි සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
ව්‍යාපාර නඩත්තු කරමින් සේවකයන් තවදුරටත් සේවයේ තබා ගැනීම ද දුෂ්කර වී ඇති නිසා ඔවුන් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කී මෙම සංගම් නියෝජිතයෝ එසේ සේවකයන් ඉවත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී ඇති බව පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරු, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකුවේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.