පොහොර ආනයනයට වැය කෙරෙන මිලියන අසූදහස ගොවියාට ලැබෙන්නට සලස්වනවා… ජනපති කියයි
- යහපාලන සමයේ ඇණහිටි ගොවි රක්ෂණය අද සිට යළිත්….
- ගොවි විශ්‍රාම වැටුප වැඩි කිරීම කෙරෙහිත් අවධානය….
- ලක්ෂ 100ක් දක්වා කොන්ත්‍රාත් සඳහා අත්සන් තැබීමට ගොවි සමිතිවලට අවසර…
කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිති.
පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබිණ. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඔවුහු කියා සිටිති. යුද්ධය අවසන් කළාක් මෙන් සමස්ත රටවැසියා වෙනුවෙන් සියලු ගොවීන් එක් කණ්ඩායමක් යටතේ කාබනික පොහොර අභියෝගය ජය ගැනීම සඳහා ජනාධිපතිතුමාට සහාය වන බව ගොවි නියෝජිතයෝ සහතික වූහ.
අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ඔවුන් මේ බව පැවසූහ. ගොවීන් ලක්ෂ 11ක්, ගොවි සංවිධාන 17000ක් සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන 563කින් මෙම බල මණ්ඩලය සකස් වී තිබේ.
කාබනික පොහොර භාවිතයට යොමු වීමෙන් පසු රජය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපතිතුමා විසින් ගොවි නියෝජිතයන් දැනුවත් කරනු ලැබිණ.