අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ දින (04) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ, දළදා සමිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
ශ්‍රී දළදා මාළිගාවට පැමිණි එතුමා සහ ශිරන්ති රාජපක්ෂ මැතිණිය පිළිගත්තේ, දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා විසිනි.
දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දළදා වහන්සේගේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආනමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදස්සි අනුනාහිමියන් ද බැහැ දුටුවේය. මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුව ය.
මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදැක උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවේය.
අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. එම පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ අස්ගිරි මහ විහාරීය කාරක සංඝ සභික, බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියෝ ද එහි වැඩ සිටියහ.
අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනු නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහි දී මහවැලි ගඟට යාවන ගැටඹේ බෝධියේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මාගේ අවධානය යොමු විය. මහවැලි අමාත්‍යංශය යටතේ අදාළ ඉදිකිරීම් සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ඒ මොහොතේ ම රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට ලබා දුන්නේය. යුද හමුදා සහාය ඇති ව අදාළ පැති බැම්ම ඉදිකරන ලෙස ද ඔහු දැනුම් දුන්නේය.
අවසානයේ අස්ගිරි මහා විහාර මහා පිරිවෙන වෙත ගොස් මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ පරිවෙනාධිපති, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ශ්රාස්ත්රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම ආගමික වතාවත්වලට රාජ්‍ය අමාත්‍යවරු වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, ගුණතිලක රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.