ජනමාධ්‍යවේදින් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීම් සලකා බලා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක කරනු ලබන ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය” සඳහා නිදහස් මාධ්‍යවේදීන්ට ද අයදුම් කිරීමේ අවස්ථාව ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව, අයදුම්පත් භාරගැනීමේ දිනය 2021 ජූලි මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

මෙම “ඇසිදිසි” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ ක්‍රමය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වලංගු හැඳුනුම්පතක් හිමි වයස අවුරුදු 19- 65 අතර මාධ්‍ය ආයතනයකින් රක්ෂණාවරණයක් නොලබන සක්‍රීයව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට සහ ඉහත වයස් කාණ්ඩයේ නිදහස් මාධ්‍යවේදින්ට ද තම සේවා සපයන මාධ්‍ය ආයතනයේ ලිඛිත සහතිකයක් සහිතව මෙම රක්ෂණ ව්‍යාපෘතිය සඳහා අයදුම් කළ හැකිය.

මෙම රක්ෂණය ප්‍රතිලාභ රැසකින් සමන්විතය. මෙහිදී නේවාසික ප්‍රතිකාර ආවරණය, බාහිර ප්‍රතිකාර ආවරණය, අසාධ්‍ය රෝග ආවරණය, ශ්‍රවණාධාර හා ඇස්කණ්ණාඩි ආවරණය, පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණය සහ කොවිඩ් 19 ආවරණය වැනි සුවිශේෂී ප්‍රතිලාභ ද හිමිවනු ඇත.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2021 ජූලි මස 31 දිනට පෙර අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්), අංක 163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර, ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණය’’ යනුවෙන් සඳහන් කළ යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයෙහි ඡායා පිටපතක් (Scanned Copy) . යන විද්‍යුත් ලිපිනයට ද යොමු කළ හැකිය.