වන අලි - මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා පත්කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලිවැට නඩත්තු කිරීම, ප්රජා දායකත්වය සහ ප්රාදේශීය පාර්ශ්වකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බලකායකට පැවරීමේ නියමු ව්යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්රික්කයෙන් ආරම්භ කරන ලෙස මම උපදෙස් දුන්නෙමි.
ඒ, ඊයේ (13) දින පස්වරුවේ, වන අලි- මිනිස් ගැටුම් පාලනය කිරීම සඳහා දීප ව්යාප්ත අලිවැට ඉදි කිරීම පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් අරලියගහ මන්දිරයේ දී ය.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පමණක් මෙහි සමස්ත වගකීම නොපැවරෙන පරිදි අදාළ ප්රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ග්රාම නිලධාරින් ඇතුළු රාජ්ය ආයතන, නිලධාරීන් සහ ග්රාමීය ප්රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බලකායක් මගින් මෙම වන අලි - මිනිස් ගැටුම් පාලනයට කළ හැකි බව මෙහි දී මම පෙන්වා දුන්නෙමි.
2021 වර්ෂයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස විදුලි වැට කිලෝමීටර 1500ක ප්රමාණයක් දීප ව්යාප්ත ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මේ වන විට ඊට අදාළ අමුද්රව්ය සඳහා ප්රසම්පාදන කටයුතු අවසන්ව ඇති අතර දිස්ත්රික්ක 19ක් ආවරණය කරමින් ත්රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ප්රාදේශීය වනජීවි කාර්යාල හා ප්රාදේශිය ලේකම් කාර්යාල අලි වැට ඉදිකිරීම සඳහා දායකත්වය සපයයි.
දැනට ඉදිකර තිබෙන කිලෝමීටර 4500ක් පමණ වන අලිවැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයන් 3900ක් යොදා ඇති අතර ඊට බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1500ක පිරිසක් අනුයුක්ත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී හෙළි කළේය.
මෙම අවස්ථාවට වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය විමලවීර දිසානායක, අග්රාමාත්ය ලේකම් ගාමිණි සෙනරත්, අග්රාමාත්ය කාර්ය මණ්ඩල ප්රධානී යෝෂිත රාජපක්ෂ, අග්රාමාත්ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, රාජ්ය අමාත්යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්රාමික) ඩබ්ලිව්.පී.පී. ප්රනාන්දු, අතිරේක ලේකම් (සංවර්ධන) දීපාල් සිරිබද්ධන, මහවැලි කලාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් රාජ්ය අමාත්යංශ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.ඩී. නිහාල් සිරිවර්ධන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජන් ලමාහේවගේ යන මහත්ම මහත්මීහු සහ ත්රිවිධ හමුදා ජ්යේෂ්ඨ නිලධාරිහු ඇතුළු රාජ්ය නිලධාරී පිරිසක් සහභාගි වූහ.