අද (15)ට යෙදී තිබෙන ලෝක තරුණ නිපුණතා වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය. 

''රටක ජවය වන්නේ ද ජීවය වන්නේ ද තාරුණ්‍යයයි. නව නිපුණතාවලින් හා කුසලතාවලින් හෙබි තරුණ පරම්පරාවක් බිහි කිරීම තුළින් අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ හැකි බව මාගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකාව යනු අභිමානවත් දේශයක් බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. එකී අභිමානය ඔප්නැංවීමට කටයුතු කළ හැකි ප්‍රබලතම පිරිස වන්නේ තරුණ ප්‍රජාවයි. ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා තාක්ෂණික ආදී විවිධ ක්ෂේත්‍රවල සිටින තරුණ ඔබ සැම අපගේ මාතෘ භූමිය සෞභාග්‍යය කරා රැගෙන යන ක්‍රියාවලියේ කොටස්කරුවන් ය.

වෙනදාටත් වඩා කෘෂිකර්මාන්තය කෙරෙහි හා නව නිපැයුම් කෙරෙහි තරුණ ප්‍රජාවේ නැඹුරුවක් දක්නට ලැබීම සතුටට කරුණකි. අතීත ශ්‍රී ලංකාවේ ප්‍රෞඪත්වය කෙරෙහි ආඩම්බර වනවා සේම අප රටේ අනාගතය සුරක්ෂිත කිරීම පිළිබඳව සිතිය යුතුය. ඒ සඳහා නිපුණතාපූර්ණ තරුණ ඔබට යුතුකමක් හා වගකීමක් තිබේ.

පෞද්ගලික අරමුණු පසෙකලා දේශීයත්වය සපිරි ස්වයංපෝෂිත ආර්ථිකයක් වෙනුවෙන් ඔබගේ කුසලතා, සංකල්ප හා ආකල්ප වර්ධනය කරගෙන සෞභාග්‍යමත් දේශයක් බිහි කිරීමට තරුණ ඔබට හැකි වේවා යි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.''