කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම වෙනුවෙන්, ටවර් හෝල් රඟහල පදනමට අයත් රංගශාලා ඉතා සහනදායි මුදලකට වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය සඳහා ලබා දෙන ලෙස එම පදනමේ සභාපතිවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි භාරකාර මණ්ඩල රැස්වීමේදී ඊයේ (15) උපදෙස් ලබාදුන්නේය. ඒ, ටවර් හෝල් රඟහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ දී ය.

ඒ අනුව ලබන අගෝස්තු මස 31 වැනි දා සිට සහනදායී මුදලකට ටවර් රඟහල, එල්ෆින්ස්ටන් රඟහල සහ රුක්මණීදේවි රඟහල නාට්‍යකරුවන්ට පිරිනැමෙනු ඇත.
මරදාන එල්ෆින්ස්ටන් රඟහලට යාබද සරසවිපාය ගොඩනැගිල්ල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලැබෙන පරිදි මහල් අටකින් යුතු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙස ද මෙහි දී අගමැතිවරයා දැනුම් දුන්නේය. දැනට ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රේක්‍ෂා රක්ෂණාවරණය 2022 වසරේ සිට නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලි නාට්‍යකරුවන් වැඩි පිරිසක් ආවරණය වන පරිදි සකස් කරන ලෙස ද අගමැතිවරයා උපදෙස් දුන්නේය.
2016 වසරේ රුපියල් මිලියන 150ක් වැය කොට ඉදිකර, 2019 පෙබරවාරි 25 වැනි දා විවෘත කළ, බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඈගල්ඔය පිහිටි බහුකාර්ය ගොඩනැගිල්ල මේ වන විට කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති බව මෙම හමුවේ දී හෙළිවිය. ඒ අනුව අදාළ ගොඩනැගිල්ල ටවර් හෝල් රඟහල පදනම පනත යටතේ ඇති අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් පවරා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කරන ලෙස ද නියෝග කළේය.
සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟ සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට භාරකාර මණ්ඩලය මෙහි දී තීරණය කළේ ය.
මෙම අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් පදනමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.එච්.එච්. කිරිඇල්ල, පාලන හා සංවර්ධන අධ්‍යක්ෂ නිපුන දිසානායක, නාට්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන් අධ්‍යක්ෂ සම්පත් පෙරේරා, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, හෂීම් ඕමාර්, පී.ආර්. පෙරේරා (කලාකරු නියෝජනය), කුලෝජා පීරිස් (මහා භාණ්ඩාගාර නියෝජනය) නාගරික ලේකම් රෝෂිණී දිසානායක යන මහත්ම මහත්මීහු ඇතුළු ටවර් හෝල් පදනමේ නිලධාරී පිරිසක් එක්ව සිටියහ.