පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබ පැතුම් එක් කරමි.

 
ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්ථම්භවලින් එකක් වන්නේ හජ් වන්දනාවයි. කායික හා ආර්ථික හැකියාව තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක් ම සිය ජීවිත කාලය තුළ එක්වරක් හෝ හජ් වන්දනාවේ නිරත විය යුතු බව විශ්වාසයයි.
 
ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එක ම අරමුණක බැඳී එක ම පූජා භූමියකට රැස් ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරනුයේ හජ් වන්දනාව තුළිනි. ඒ අනුව ගත් කළ සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැඳින්විය හැකිය.
 
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂයේ මෙන් ම මෙවරත් ඉස්ලාම් බැතිමතුන්ට මක්කම ගොස් හජ් වන්දනාවේ යෙදීමට ඇති ඉඩකඩ ඇහිරී තිබේ. සාමය, සහෝදරත්වය සමානාත්මතාව අගය කරන හජ් දින සුභ ප්‍රාර්ථනාවන්ට එමගින් බාධාවක් නොවන බව මාගේ විශ්වාසයයි.
 
දේවස්ථානවල සාමූහිකව රැස්වී සිදුකරන සම්ප්‍රදායික ආගමික කටයුතු මෙවර සිදු නොකරන ලෙසට සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුගත වෙමින් කොවිඩ්-19 වසංගතය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය.
 
ඉස්ලාමීය මඟපෙන්වීම් ද නිසි අයුරින් අනුගමනය කරමින් ලෝකවාසී ජනතාව ම කෙටි කලක් ඇතුළත කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි අද වැනි උතුම් දිනෙක අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිනු ඇතැයි විශ්වාස කරමි. 
ඔබගේ සියලු යහක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනිත්වා යන්න අපගේ ද ප්‍රාර්ථනයයි.
 
විවිධ ජාතීන් අතර සුහදත්වය සහ සංහිඳියාව සිහිපත්කරන හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත්වන, ප්‍රීතිමත් ඊද් උල් අල්හා උත්සවයක් වේවා! යැයි සහෝදර ඉස්ලාම් බැතිමතුන් සියලු දෙනාට ම මම සුභ ප්‍රාර්ථනා කරමි.