ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කළ ඇසළ පෝය දින පණිවිඩය. 

‘‘අද උතුම් ඇසළ පොහොය දිනයයි. තුන්ලෝකාග්‍ර වූ අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ චරිතයෙහි එන වැදගත් සිදුවීම් රාශියක් සිදු ව ඇති ඇසළ පොහොය දිනය ලොව පුරා වෙසෙන සුවහසක් බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පොහොය දිනයකි.
සිදුහත් බෝසතාණන් වහන්සේ පස් මහ බැලුම් බැලීමෙන් අනතුරුව, මිනිස් ලොව උපදිනු පිණිස මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳගන්නේ අද වන් දිනක ය. එමෙන් ම වසර විසි නවයක් පුරා වින්දා වූ සියලු සැප සම්පත් අත් හළ සිදුහත් කුමරා ගිහි ජීවිතය පිළිබඳව කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේ ද රාහුල කුමරුන්ගේ උපත සිදුවන්නේ ද අද වන් දිනක ය.
එයින් සය වසරකට පසුව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වන බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන ' ධම්මචක්ක පවත්තන සූත්‍රය' ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් අරභයා දේශනා කරන්නේ ද තීර්ථක මානය බිඳහෙළනු වස් සැවැත් නුවර ගන්ධබ්බ අඹ රුක මුල යමා මහ පෙළහර පා වදාළේ ද, තමන් වහන්සේගේ උපතින් සත් වන දවස කලුරිය කර මාතෘ දිව්‍ය රාජයා ලෙසින් තව්තිසා දෙව් ලොව උපන් එ කල තම මෑණියන් වහන්සේ ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කරන ලද්දේ ද ඇසළ පොහොය දිනයක වීම විශේෂත්වයකි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව පළමු ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ ද, අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑය සඳහා මුල්ගල පිහිටුවන්නේ ද, ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් තිබූ ලක්දිව සම්බුද්ධ ශාසනය පාරිශුද්ධ භාවයට පත් කරමින් සියම් දේශයේ උපාලි තෙරුන් වහන්සේ යටතේ නැවත උපසම්පදාව සහිත ථේරවාදී බුදුදහම ස්ථාපිත වන්නේ ද, කඨින මහා පූජෝත්සවය ආරම්භ වනු පිණිස භික්ෂූන් වහන්සේ පෙර වස් සමාදම් වන්නේ ද, පෙරහර සමය ආරම්භ වන්නේ ද අද වන් පොහොය දිනක ය.
මේ සා විශාල වැදගත්කමක් ඇති උතුම් ඇසළ පොහොය දිනයේදී සෞඛ්‍ය මඟපෙන්වීම්වලට අනුගත වෙමින් පමණක් ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා සිදු කරමින් සැදැහැ සිතින් කටයුතු කළ යුතු ය. මේ පෙරහර සමයේ ද ආරම්භයයි. එහෙත් අප සැම මුහුණ දෙමින් සිටින කොවිඩ් වසංගතය හේතුවෙන් චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රවලට පමණක් මුල් තැන දීම කරනු විනා එවන් උත්සව, සැණකෙළි කෙරෙහි අවධානය ලබා දීමට කටයුතු නො කිරීම ද ඔබ සැමගේ ම වගකීමකි.
ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!‘‘