එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ ලබා දී තිබෙනවා. එම සංඛ්‍යාව හාරලක්ෂ දාහත්දහස් අටසිය පහළොවක්.

කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත්කරණය රටපුරා සාර්ථකව සිදුකෙරෙනවා. එක් දිනකදී වැඩිම එන්නත් සංඛ්‍යාවක් ලබාදුන් දිනය ලෙස ඊයේ වාර්තා වූ අතර එලෙස ලබාදුන් එන්නත් සංඛ්‍යාව 417,815 ක් බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ.

ඒ අනුව ඊයේ දිනයේ දී සයිනොෆාම් පළමු මාත්‍රාව 344,458 දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 32,288 ක්. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 40,912 දෙනෙකුට ලබාදී ඇති අතර මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 157 ක්.

මේ වනවිට කිසියම් හෝ එන්නතක පළමු මාත්‍රාව අසූහත්ලක්ෂ දහඅට දහස් හාරසිය තිස්තුන් දෙනෙකුට ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව දහනව ලක්ෂ අනූහතර දහස් තුන්සිය අසූහතර දෙනෙකුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.