ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජපාන අගමැති යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනෙකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා (07) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා ඊයේ (2) පැවසීය.

පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.

මෙරට ජනතාවගේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපතිවරයා ජපාන අගමැතිවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අගමැතිවරයා විසින් මේ එන්නත් මාත්‍රා මිලියන 1.456ක තොගය මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා සඳහන් කළේය.

එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 455 දරන ගුවන් යානයෙන්, කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණු අතර පෙරේදා (01) සිට බස්නාහිර පළාතේ තෝරාගත් මධ්‍යස්ථාන 20කදී මේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව එන්නත් කිරීම ආරම්භ කෙරිණ.

 

එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම, මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයන්ගේ විශේෂ පැසසුමට ලක් විය.

පසුගිය මැයි මාසයේ තමා පෞද්ගලිකවම ජපාන අගමැතිවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දක්වමින් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය පරිත්‍යාග කිරීම පිළිබඳ ජනාධිපතිවරයා රජයේත්, ශ්‍රී ලංකා ජනතාවගේත් විශේෂ ස්තූතිය ජපාන අගමැතිවරයාට, ජපාන රජයට සහ ජපාන තානාපතිවරයාට පළ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අලකා සින්ග්, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බ්‍රිගම්, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් චිහාරු හෝෂිආයි , දෙවන ලේකම් සෙයියා නිනෝමියා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.