ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීමකට අනුව එරටින් ලැබෙන ඇස්ට්‍රාසෙනෙකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා වෙනවිට මෙරටට ලබා දිමට කටයුතු කරන බව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා ප්‍රකාශ කළා.  පසුගියදා රැගෙන ආ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන්ම භාර දෙමිනුයි ජපාන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම නිල හමුව පැවැත්වුණේ. පසුගිය මැයි මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් පෞද්ගලිකව කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දැක්වූ එරට රජය මෙලෙස ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් විශේෂ ස්තූතිය ජපාන අග්‍රාමාත්‍යවරයාට,  රජයට හා ජපාන තානාපතිවරයාට හිමි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය තවත් තහවුරු කරමින් එන්නත් මාත්‍රා ලක්ෂ දාහතරකට වැඩි ප්‍රමාණයක් ලබාදීමට ජපාන රජය තීරණය කළ අතර එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460ක් පසුගියදා මෙරට වෙත ලැබුණු අතර එහි මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා වන විට දිවයිනට ළඟා වන බවයි මෙහිදී ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ.

පළමු එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත්, ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම, මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත අලකා සිංග් , යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බිගම් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.