රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට එකඟතාව පළ වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය ගත් බව ද හෙතෙම පැවැසීය.

එමෙන්ම රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරි සිදු කිරීම සඳහා අවස්ථාව සලසා දීමට ද එහිදී තීරණය කළ බවද ඇමතිවරයා සඳහන් ක‍ළේය.

මෙම තීරණවලට අදාළ චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ඇතැයිද හෙතෙම පැවසීය.

 

මේ අනුව රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමට ද එහිදී තීරණය කළ බවද ඇමැතිවරයා කීය. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම කටයුතු සිදු කරනු ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.

රාජ්‍ය සේවයේ වයස 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමට ද මෙහිදී තීරණය කළ බවත් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එමෙන්ම කොවිඩ් පැතිරීම හේතුවෙන් මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී තිබෙන අතර විශාල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නොවන බවද සඳහන් කළේය. එබැවින් උද්ඝෝෂණ නවත්වා රජයේ කොරෝනා පාලන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි තමා සියලු ගුරුවරුන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බවත් ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.