ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල
සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා දශක නවයකට ආසන්න උතුම් පැවිදි දිවියම කැපකළ මහ තෙර නමක වන ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ඓතිහාසික මොලගොඩ කොටමුදුන්ගල රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත සාහිත්‍යාචාර්ය හිඟුල්වල සරණංකර නාහිමියන්ගේ අපවත්වීම සම්බුදු සසුනට පිරිමැසිය නොහැකි ඉමහත් පාඩුවක් බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වන සරණංකර නා හිමියන් අනතිමානී ගුණයෙන් පරිපූර්ණ වූ ශ්‍රේෂ්ඨ පඬිරුවනක් බවද අමාත්‍යවරයා කියා සිටී.
අස්ගිරි පාර්ශවයේ මහෝපාධ්‍යාය හිඟුල්වල සරණංකර හිමියන්ගේ අපවත්වීම පිළිබඳ පණිවිඩයක් නිකුත් කරමින් රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටී.
නා හිමියන්ගේ විනයගරුක මෙන්ම අල්පේච්ඡතාව මුළු පැවිදි දිවියම එකඵ කරමින් මහ සඟ පරපුරක් සම්බුදු සසුනට දායාද කළ බව අමාත්‍යවරයා ශෝක පණිවිඩයේ සඳහන් වේ.
ශත වර්ෂයකටඅධික කාලයක් ආයු වැලඳූ උන්වහන්සේ මනා සිහිකල්පනාවෙන් ජීවිතයේ වයෝවෘද්ධම සමයේ පවා කටයුතු කළේ යැයිද එතරම් වයෝවෘද්ධ තාවයකින් සිටියද පොත පත පරිශීලනය කරමින් සෑම විටම ආදර්ශමත් පැවිදි දිවියක උන්වහන්සේ නිරත වූයේ යැයිද අමාත්‍යවරයා පවසයි.
මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ධර්මාචාර්ය හිමිපාණන් මෙන්ම බෞද්ධ හා පාලි විශ්ව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන්ගේ ආචාර්යවරයානන් වහන්සේ වීම උන්වහන්සේගේ පැවිදි දිවිය තවත් ආලෝකමත් වූ බව රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
මහනාහිමිවරුන් ප්රමුඛ ත්‍රෛනිකායික මහ සඟරුවනේද නොමද ගෞරවයට පාත්‍ර වූ සරණංකර හිමියන් මෑතකාලීනව ලක් දෙරණට පහළ වූ උතුම් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සිය ශෝක පණිවිඩයේ වැඩිදුරටත් කියා සිටී.