රජයේ වැඩපිළිවෙළ අන්තර්ජාතික පැසසුමට

දේශගුණ විපර්යාස නිසා ඇතිවන බලපෑම් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන තිබෙන වැඩ පිළිවෙළ අගය කරන බවත්, රජය හා ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා වන අන්තර්ජාතික නිර්දේශ අනුව කටයුතු කිරීමේ දී ඉදිරියෙන් සිටින බවත්, එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලය වන COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය තානාපති Ken o Flaherty මහතා පැවසීය.

එක්සත් ජාතින්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලය වන COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය රටවල තානාපති Ken o Flaherty හා කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ සමෘද්ධිමත්භාවය පිළිබඳ ඒකකයේ ප්‍රධානී Andrew Price මහත්වරුන් පසුගියදා පරිසර ඇමැති මහින්ද අමරවීර සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන් නිල වශයෙන් හමු වූ අවස්ථාවේ මේ අගැයිම සිදු කර ඇත.

මෙම වසරේ නොවැම්බර් මස බෙල්ග්‍රේඩ්හි දී පැවැත්වීමට නියමිත COP 26 දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාතික සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ලෙස පරිසර ඇමැතිවරයාටත්, පරිසර අමාත්‍යංශ ලේකම්වරයාටත් මෙහිදී ඔවුන් ආරාධනා කර තිබේ.

දේශගුණ විපර්යාස නිසා ඇති වන බලපෑම් වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව ගන්නාදු තීරණ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ තානාපතිවරයා ‌මෙහිදී ඇමැතිවරයාගෙන් කරුණු විමසීය. විශේෂයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව දේශගුණ විපර්යාස සඳහා ඉවහල් විය හැකි කරුණු රැසක් සම්බන්ධව මේ වනවිට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති බව ඇමැති අමරවීර මහතා පෙන්වා දුන්නේය.

 

ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීම සඳහා තීරණය කර ඇති අතර, නැවත ගල් අඟුරු විදුලි බලාගාර ඉදිනොකිරීමට ජනාධිපතිතුමා තීරණය කර තිබීම, විදුලිබල උත්පාදනයට ජල විදුලිබලය මෙන්ම සුර්ය බලය හා සුළං බලය වැඩිපුර උපයෝගී කර ගැනීම, ද්‍රවීකෘත වායු හෙවත් LNG බලාගාර දෙකක් ඉදිකිරීම, විදුලිබලයෙන් ක්‍රියාකරන මෝටර් රථ ආනයනය සඳහා ආනයනකරුවන් දිරිමත් කිරීම, 2030 වන විට මේ රටේ වන ගහනය සියයට 30 දක්වා ඉහළ නැංවීම ද ඉන් ප්‍රධාන වන බවත් වැඩි වායු දූෂණයක් සිදුවීමට බලපාන ජාතික ප්‍රවාහන සේවාවන් විධිමත් කිරීම ද රජයේ එක් ඉළක්කයක් බවත් ඇමැතිවරයා මෙහිදි අවධාරණය කළේය.

එමෙන්ම වායු දූෂණයට මෙන්ම පාංශු දූෂණයට හේතුකාරක වන පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන රැසක් මේ වන විට මෙරටට ආනයනය, නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තහනම් කර ඇතැයි ද පෙන්වා දුන් අමරවීර මහතා, ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ගත් එම තීරණ සියල්ලම දේශගුණ විපර්යාසවලින් ලෝකයට මෙන්ම අපේ රටට සිදු විය හැකි ආපදාවන් වළක්වා ගැනීම සඳහා ගන්නා ලද තීරණ යැයිද කීවේය.

කලාපිය තානාපති Ken o Flaherty මහතා අදහස් දක්වමින්, විශේෂයෙන්ම දේශගුණික විපර්යාස නිසා සිදු වන හානි වලින් වැඩිපුරම බලපෑම් එල්ල වන්නේ දූපත් රාජ්‍යයන්ට බවත්, ශ්‍රී ලංකාව ද දූපතක් නිසා ඉන් සිදුවන අහිතකර ගෝලීය බලපෑම් නිසා වැඩි වශයෙන් හානිකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකි බවත් පෙන්වා දුන්නේය. නමුත් වත්මන් රජය හා ජනාධිපතිතුමන් ගෙන ඇති ක්‍රියාමාර්ග දෙස බලන විට දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට වඩා ශ්‍රී ලංකාව, දේශගුණ විපර්යාසයන් වළක්වා ගැනීම සඳහා වන අන්තර්ජාතික නිර්දේශ අනුව කටයුතු කිරීමේ දී ඉදිරියෙන් සිටින බව අවධාරණය කළේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී දේශගුණ විපර්යාස වළක්වා ගැනීම සඳහා රජය ගෙන ඇති වැඩ පිළිවෙළ COP 26 මධ්‍යස්ථානයේ ආසියා පැසිපික් හා දකුණු ආසියානු කලාපීය තානාපති Ken o Flaherty මහතා වෙත බාරදීම ද මෙදින සිදු විය