කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම වේගවත් වන අතර ඕනෑම පවුලක අයෙකු මෙයට ගොදුරුවීමේ වැඩි අවදානමක් මේ වන විට පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. එබැවින් වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා හැකි ඉක්මණින් එන්නත් ලබාගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වන්නන්ගෙන් 1.5%ක් පමණ මිය යන බව සෞඛ්‍ය අංශ පවසනවා. වැඩි ප්‍රතිශතයක් දැඩි සත්කාර ඒකකවලට ඇතුළු කිරීමටද සිදුවනවා. මෙම අවාසනාවන්ත තත්ත්වයට ගොදුරු නොවීමට නම් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතුයි. ඒ අනුව කිසිවිටෙකත් සෙනඟ ගැවසෙන මංගල, අවමංගල හෝ වෙනත් උත්සවවලට යාමෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
නිවසෙන් පිටතට යන විට අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පැළදිය යුතුයි. කාමර, ශාලා, විදුලි සෝපාන, වාහන වැනි ආවරණය කරන ලද ස්ථාන තුළ සෙනඟ සමඟ නොගැවසිය යුතු බවද අවධාරණය කෙරෙනවා. අත් සේදීම සහ හැකිතාක් දුරින් අන් අය සමඟ ගනුදෙනු කිරීම රෝගය වැළැක්වීමට හේතු වනවා. මෙහිදී මීටර් දෙකකට වඩා දුරින් සිටීම වඩාත් සුදුසු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. නිධන්ගත රෝග ඇත්නම් අත්‍යවශ්‍ය රාජකාරියකට මිස නිවසෙන් පිටතට නොයන ලෙසත් ඉතාමත් වගකීමෙන් කටයුතු කර තමනුත් තම පවුලේ සාමාජිකයනුත් කෝවිඩ් ඩෙල්ටාවෙන් ආරක්ෂා කර ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ තවදුරටත් ඉල්ලා සිටින්නේ.
මේ අතර කෝවිඩ් මාරයාගෙන් ජීවිත බේරා ගැනීමට ඇත්තේ එන්නත ලබාගැනීම හා සෞඛ්‍ය මාර්ගෝපදේශ අවංකවම සහ නිවැරදිවම පිළිපැදීම පමණක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඒ සඳහා නොපමාව කුමන වර්ගයක හෝ එන්නතක් ලබාගත යුතුයි.