මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, දන්ත වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් සියළුම වෘත්තිකයින්හට වෘත්තීය පුහුණුව ලබාදෙනු ලබන්නේ හෙද විදුහල් හා පුහුණු ආයතන සහ පළාත් මට්ටමින් පවත්වාගෙන යන පුහුණු ආයතන මගිනි.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම ආයතනවලින් ලබාදෙන පුහුණුවීම් තාවකාලිකව නවතා දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු විය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ලද ඉල්ලීමකට අනුව ආචාර්යවරුන්ට සහ අභ්‍යාසලාභීන්ට පුහුණුවීම් මාර්ගගත ක්‍රමවේදයට ඔස්සේ නැවත ආරම්භ කිරීමට අවශ්‍ය තාක්‍ෂණික යෙදවුම් හා උපකරණ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමය විසින් ඊයේ (12) දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත එම උපකරණ නිල වශයෙන් පරිත්‍යාග කිරිම යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති E. Mr Chaib මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය Alaka Singh යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. මෙම මුළු ව්‍යාපෘතිය සඳහා වැය කෙරුණූ මුදල රුපියල් මිලියන 61 කි.