වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් රජය විසින් සැලසුම් කර ඇති බව අගමැතිවරයා පසුගියදා (15) පැවසුවේය. ඒ, හම්බන්තොට රෝහලේ ස්ථාපිත දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.


හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු පළමුව ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේ දී ය. එතැන් පටන් මේ දක්වා රෝගීන් 6,000කට පමණ එමගින් ප්‍රතිකාර කර තිබේ. කොවිඩ් වැළඳෙන ළමයින් සඳහා මෙතෙක් ප්‍රතිකාර ක්‍රියාත්මක කළේ කාන්තා වාට්ටු සංකීර්ණයේය. නව ඒකකය ස්ථාපිත වීමත් සමඟ ළමයින් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරු පවසති. මෙහි දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට ප්‍රමුඛත්වය හිමිවනු ඇත. සෑම පළාතකම කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සංකල්පය වී තිබේ.


එම අවස්ථාව අමතා අගමැතිවරයා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේ ය.

‘‘මිත්‍රවරුනි,
අපේ රටේ ළමා පරපුර ආරක්ෂා කර ගැනීම අප සියලු දෙනා ම සතු වගකීමක්. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. දෙමාපියන් වගේ ම රජයක් විධියට අපිත් දරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන බව ඔබ තමුන්නාන්සෙලා දන්නවා.


ඉතිහාසය අරගෙන බැලුවම විවිධ වසංගතවලට ලෝකය මුහුණ පාලා තියෙනවා. කොතරම් තාක්ෂණයෙන් දියුණු වුණත් මේ වගේ වසංගතවලට නිශ්චිත විසඳුම සොයා යෑම ඉතා දුෂ්කර කාරණයක් බවයි හැමෝ ම පිළිගන්නෙ. ඒ නිසා අපි මේ වගේ කාලයක වෙනදාටත් වඩා ශක්තිමත්ව, එකමුතුකමින් මෙවැනි වසංගතයන්ට මුහුණ දෙන්න ඕනි.
වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විශාල පිරිසක් මේ වන විටත් කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගන්න දිවා රෑ වෙහෙසෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් කරන කැපවීම රජයක් විදිහට අපි හැමදාමත් අගය කළා. අගය කරනවා. ඒ විතරක් නෙමෙයි රටේ මුළු මහත් ජනතාවත් ඔවුන්ගේ මේ කැපවීම හදවතින්ම අගය කරනවා.


අපේ රටේ තියෙන්නෙ දරුවන්ට ආදරය කරන, ඔවුන්ට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක්. ඒ නිසා දරුවන් රැකගන්නෙ කොහොමද කියලා අපි නිතර කල්පනා කරනවා. කොවිඩ් වසංගතය පැතිරිලා තමන්ගේ දරුවන්ටත් මේ වසංගතයට මුහුණ දෙන්න වෙයි ද කියලා දෙමව්පියන්ට බයක් තියෙනවා.


මමත් තාත්තා කෙනෙක් විදිහට, මගේ බිරිඳ ශිරන්ති අම්මා කෙනෙක් විදිහට දරුවන් ගැන හිතන විදිහ, එතැනින් එහාට දරු මුණුපුරන් ගැන හිතන විදිහ, ඔවුන්ට දක්වන ආදරය අපිට අමුතු දෙයක් නෙමයි. අපි හැමදාමත් මේ රටේ දරුවන් ගැන කල්පනා කළෙත් එහෙමයි. ඒ නිසා මේ දරුවන්ව කොවිඩ් වසංගතතයෙන් බේරා ගන්න අපි සෑම පියවරක් ම ගන්නා බව සිහිපත් කළ යුතුයි.


අපේ රටේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමය රට ගැන කල්පනා කරලා කවදත් අවශ්‍ය යුතුකම ඉටු කළ වෛද්‍ය සංගමයක්. දරුවන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කර ගන්න, ඔවුන්ගේ ජීවිත රැකගන්න රජයට තිබෙන උනන්දුව දැකලා, ළමයින් වෙනුවෙන්ම හම්බන්තොට රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කරන්න මේ අයට හැකියාව ලැබුණෙ ඒ නිසයි.


අද මේ කාර්යය ඉටු කරපු විශේෂඥ වෛද්‍යවරුන් මා සමඟ කිව්වේ හැකි ඉක්මනින් අනෙකුත් පළාත්වලටත් මෙවැනි ප්‍රතිකාර ඒකකයක් ලබා දෙනවා කියලා. ඒ අනුව මේ කාර්යය අවසන් වන විට හැම පළාතකට ම ළමා කොවිඩ් ප්‍රතිකාර ඒකකයකුත් ස්ථාපිත වෙනවා. ඒ විතරක් නෙමෙයි, දරුවන්ගෙ අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ කැපවීම් කරන්නත් මේ වෛද්‍යවරුන් සූදානම්.


අරලියගහ මන්දිරයේ තිබුණ පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක දී මේ අය රටේ අධ්‍යාපන කලාප 99ට ම විශේෂඥ වෛද්‍යවරයකු ගානේ පත්කරලා, දරුවන්ව බලාගන්නත් ඉදිරිපත් වුණා.


මුළු ලෝකයේ ම තිබෙන තත්ත්වය දැන දැනත් ඇතැමුන් මේ වෙලාවෙත් ඉල්ලීම්වලටයි ප්‍රමුඛත්වය දෙන්නෙ. විසඳුමක් දෙන්න කාලයක් දෙන්න කියලා කිව්වත් මේ අය ඒවාට ඇහුම්කම් නොදී දරුවන්ට පාඩම් උගන්වන්නෙ නැතිව රජයට පාඩම් උගන්වන්න යනවා. මේ වසංගතය ආපු වෙලාවේ අපි මුලින්ම පාසල් වහලා දැම්මේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔබට මතක නම් විටෙන් විට අවදානම පහව ගියත් අපි පාසල් නැවත විවෘත කළේ නැහැ.


එහෙත් මේ විදිහට පාසල් වහලා තියන්න අපි කැමැතිත් නැහැ. මොකද අපි දන්නවා අධ්‍යාපනය විතරක් නෙමෙයි විෂය බාහිර දැනුමත් පාසල තුළින් ලැබෙනවා. දරුවන්ට අනාගතයට මුහුණ දෙන්න අවශ්‍ය දැනුම තිබෙන්නෙ පතපොතේ විතරක් නෙමෙයි. පාසලේ දී ගුරුවරුන් අපට ජීවිතයත් කියා දෙනවා. ඒක අදට වඩා වටින්නෙ අනාගතයට.
ඒ නිසා ගුරු විදුහල්පති අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නත් කරලා අවසන් වූ වහා ම වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න රජය සැලසුම් සකස් කර අවසන්. එහිදිත් විවිධ සංකූලතා තිබෙන දරුවන්ට ප්‍රමුඛත්වය දෙන්නත් අප බලාපොරොත්තුවෙනවා.


අපිට විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ දියුණු රටවලටත් මේ වසංගතය පාලනය කර ගැනීම අද අභියෝගයක් වෙලා. දැනට තිබෙන එකම විසඳුම එන්නත්කරණය මගින් ජීවිත හානි මෙන්ම රෝගය පැතිරීම වළක්වා ගැනීම පමණයි. අපි රටක් විධියට එන්නත්කරණය අතින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. ඒත් මේ කටයුත්ත තව තවත් වේගවත් කරමින් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගත යුතුයි. අපි ප්‍රමුඛත්වය දෙන්නේ ඒ සඳහායි. එහෙම තියෙද්දි අද ඇතමෙක් බොර දියේ මාලු බානවා. සමහරු ඒ අස්සෙ දේශපාලන කෝන්තරත් පිරිමහනවා. ඒක අලුත් දෙයක් නෙමෙයි. මේවා අපට හොඳට පුරුදුයි. ඒ නිසා මේවාට උත්තර දෙනවට වඩා වටින්නෙ ඒ කාලයත් තවත් ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන් යෙදවීම කියලයි අපි විශ්වාස කරන්නෙ.


මිත්‍රවරුනි,


රටේ සමස්ත ජනතාව ගැන කල්පනා කරලා ගන්න ඇතැම් තීන්දු ජනප්‍රිය නොවුණත් අපට එවැනි තීන්දු ගන්න වෙනවා. දැඩි සංචරණ සීමා පැනවීම වැනි තීන්දු ඔබේත් අපේත් සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයි.


ඔබ මෙවැනි අවස්ථාවක රජයේ වගකීම දෙස බලා සිටිනවා වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් තම තමන්ට පැවරෙන යුතුකමත් ඉටුකරනවා නම් අපට මේ අභියෝගය ජය ගැනීම අපහසු නැහැ. එවැනි වටපිටාවක අනාගත ළමා පරපුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රජයට සහය වන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සියලු ම වෛද්‍යවරුන්ටත්, අනෙකුත් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සඳහාත් මාගේ ප්‍රණාමය නැවත වතාවක් පුද කරන්න කැමතියි.


ඔබ සැමට නිරෝගිමත් අනාගතයක් උදා වේවා!‘‘


මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශාමන් රජීන්ද්‍රජිත්, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ළමාබදුසූරිය, හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය සුරංග උබේසේකර යන මහත්වරු සහ මගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.