මෙරට රෝහල් තුළ කොවිඩ් 19 ආසාධිත රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඉන්දීය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ශක්ති නෞකාව අද අළුයම (17) ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් විය.

පවත්නා වසංගත තත්වය හමුවේ මෙරට රෝහල් තුළ ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීම සදහා ඇණවුම් කරන ලද සායනික ඔක්සිජන් මෙරටට රැගෙන ඒමේදී වරායන් තුළ සිදු විය හැකි ප්‍රමාදවීම් වළක්වා ගැනීමේ අරමුණෙන් ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත එම සායනික ඔක්සිජන් නාවික හමුදාව මගින් රැගෙන එන ලෙස උපදෙස් දෙන ලදී.

ඒ අනුව, මෙරටට ඇණවුම් කරන ලද එම සායනික ඔක්සිජන් තොගය රැගෙන ඒම සඳහා ශක්ති නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත මෙලෙස පිටත් කර හැරීමට නාවික හමුදාව විසින් අද අළුයම කටයුතු කෙරිණි.

ඒ අනුව, ශක්ති නෞකාව 2021 අගෝස්තු 18 පස්වරුවේදී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ලඟා වීමට නියමිතව ඇත.

තවද, මෙම සේවාව අවශ්‍යතාවය අනුව අඛණ්ඩව පවත්වාගෙන යාමට නාවික හමුදාව කටයුතු කරනු ලබන අතර, රටේ ඇති වන ඕනෑම හදිසි තත්වයකදී සිය ශක්‍යතාවන් කාර්‍යක්‍ෂමව සහ ඵලදායිව යොදවා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් නොපමාව ලබා දිමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටින බව ද නිවේදනයේ සඳහන් වෙයි