මොනවා වුණත් අපි රට වහන්නේ නැතැයි යන මුරණ්ඩු ස්ථාවරයක ආණ්ඩුව පිහිටා නැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (18) පැවසීය.
එවැනි අනම්‍ය තීරණයක කොතනකවක් ආණ්ඩුව නැති හෙයින් වැරැදි වැටහීම් ඇති නොකර ගන්නැයි හෙතෙම කියා සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ් මර්දන බළකාය දෙන නිර්දේශ අනුව සුදුසු තීන්දු ගැනීමට ආණ්ඩුව සූදානම් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ වන විට කොවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ විසඳුම් ලෙස ක්‍රියා මාර්ග තුනක් අනුගමනය කරන බව පැවසූ ඇමැතිවරයා ඉන් පළමු එක මුළුමනින්ම රට වසා දැමීම, දෙවැනි ක්‍රමය දෙවැනි මාත්‍රාව සියයට හතළිහක් පනහක් පමණ දීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම රට ඇරීම සහ තුන් වැනි ක්‍රමය ලෙස යම් ප්‍රමාණවත් සංඛ්‍යාවකට එන්නත් දී රටක් අර්ධ වශයෙන් විවෘත කිරීම බවත්, ශ්‍රී ලංකාව ඉන් තුන් වැනි ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බව කියා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව කීය.
අවුරුදු එහ හමාරක් පමණ රටේ විවිධ අංශ වසා දමා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් කාර්ය සාධක බළකායේ තීරණය අනුව එම ක්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් අලහප්පෙරුම මහතා කීවේය.
මේ අවස්ථාවේ මෙරට රැකියාවක් නැති මිලියන අටක පිරිස දෙසත් ආණ්ඩුව ඉතා සංවේදීව බැලිය යුතු බව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව පැවසූ ඇමැතිවරයා නමුත් ආණ්ඩුව අනම්‍ය තීරණයක නැති බවද පැවසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
මේ මොහොතෙත් රට විශාල වශයෙන් කලාප රාශියක් වසා තිබෙන බවත් විශේෂයෙන්ම අධ්‍යාපනයට අදාළව අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් මුළුමනින්ම වසා තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාම වැටුප්ලාභීන් මිලියන 2ක් ඉන්නවා කියලා ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට පැහැදිලි කළා. ඒ වගේම කිසිදු ආකාරයක රැකියාවක් නැති මිලියන 8ක් පමණ ඉන්නවා. ආණ්ඩුව සහ බළකාය විදියට මේ මිලියන 8 දිහා ඉතා සංවේදී විදියට බලනවා. ඒ නිසා තමයි තුන්වැනි ක්‍රමය උපයෝගි කර ගෙන තිබෙන්නේ.
වැවිලි කර්මාන්ත ඇමැති, සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා.
මේ රටේ පසුගිය වසර එකහමාරක කාලය තුළ කිහිප විටක් රට වසා දැමීම කර තිබෙනවා. ඒ සෑම අවස්ථාවක දීම නොවිධිමත් ආර්ථිකයකින් ජීවත් වන මිලියන 8කට ආසන්න ජනතාවකට ආර්ථික වශයෙන් පීඩා, කරදර වුණා. ඒ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව ඔවුන්ට ආධාර දෙන්න රුපියල් බිලියන 80කට වැඩි මුදලක් වැය කර තිබෙනවා. රටක් ලෙස අපත් ආර්ථික වශයෙන් දැඩි පීඩාකාරි තත්ත්වයක තමයි ගමන් කරන්නේ. එවැනි තත්ත්වයකදී සහන දීමේ ක්‍රමවේද පිළිබඳත් ගැටලු මතු වෙලා තිබෙනවා. රට වසා දාපු අවස්ථාවල රෝගය තාවකාලිකව පාලනය වුණාට යම් යම් අවස්ථාවල ඉන් ප්‍රමාණවත් ප්‍රතිඵල ලැබුණේ නැහැ. අපි යම් සංචරණ සීමා පනවමින්, සෞඛ්‍ය ක්‍රමවේද අනුව සේවකයන් රාජකාරිවලට කැඳවීමේ පහසුකම් රාශියක් දී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙත්, අදාළ විශේෂඥයන්ගේ උපදෙස් අනුවත් කටයුතු කරන්න ආණ්ඩුව පසුබට නොවන බව කිව යුතුයි.