මෙරට ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මතින් ඉදි වන නව කැලණි පාලම සැප්තැම්බර් මාසයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. එහි ඉදිකිරීම් කටයුතුවලින් සියයට 99කට ආසන්න ප්‍රමාණයක වැඩ මේ වන විටත් නිම කර තිබෙන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. නව පාලමේ වැඩකටයුතු සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ සොයා බැලීමට ඇමැතිවරයා ඊයේ (19) පියවර ගත් අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ආරක්ෂක කැමරා පද්ධතිය සවි කිරීම, වානේ පාලම් කොටස පින්තාරු කිරීම, නව කැලණි පාලමට සම්බන්ධ වන වරාය පිවිසුම් මාර්ගයේ කානු පද්ධතිය නිම කිරීම, පාලම ආලෝකකරණය, ආරක්ෂාව සඳහා වන යකඩ වැට ඉදි කිරීම සහ භූමි අලංකරණය වැනි කටයුතු කිහිපයක් මේ වන විට කිරීමට නියමිතය. එම කාර්යයන් ප්‍රමිතියෙන් යුතුව කඩිනම් කරන ලෙස මෙහිදී ඇමැතිවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්. ආර්. පේමසිරි මහතාට උපදෙස් දුන්නේය.

නව කැලණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා වූ මාර්ගයේ දෙපස පැළ සිටුවීමට කටයුතු කරන ලෙසද එම පැළ සඳහා ජලය සැපයීමට භූගත ජල නළ පද්ධතියක් ඉදි කරන ලෙස ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය. මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂිකා දර්ෂිකා ජයසේකර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.