මෙරට දේශපාලන කරළියේ සැබෑ පෙරළිකාරයකු මෙන්ම දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයකු වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගෝලීය වසංගතයේ ගොදුරක් බවට පත් වූයේ මීට සති කිහිපයකට පෙරය. පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කොවිඩ් මාරයා හා සටන් වැද පරාජය වී අවසන් ගමන් ගොස් ඇත.
 
1983 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ප්‍රධාන සංවිධායක ලෙස සිය ක්‍රියාකාරී දේශපාලන ගමන අරඹන විට මංගල සමරවීර, 27 හැවිරිදි තරුණයෙකි. කලක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් ඉන් අනතුරුව මහජන එක්සත් පෙරමුණත් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහානාම සමරවීර මහතා මංගල සමරවීර මහතාගේ පියාය. මානව හිතවාදී දේශපාලනඥයකු වූ පියාගේ සහ මාතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වූ (ඛේමා සමරවීර) මවගේ අභාසය ලබමින් දේශපාලනය තුළ මානව හිමිකම් ක්‍රියාධරයකුගේ භූමිකාවට අවංකව කැප වී සිටි මංගල, රණසිංහ ප්‍රේමදාස යුගයේ පෙරළිකාර විපක්ෂ දේශපාලනඥයකු ලෙසින් වඩාත් කැපී පෙනුණු චරිතයකි. 
 
1989 වර්ෂයේදී පළමු වරට පාර්ලිමේන්තු වරම් ලැබූ මංගල සමරවීර, 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි. අනතුරුව කැබිනට්ටුව වෙනස් කිරීමේදී නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. 2001 වසරේ මැතිවරණ පරාජයෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය දැරූ ඔහු 2004 වසරේ දී නැවතත් වරාය, ගුවන ගමන් සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් විය. 
 
2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස කටයුතු කරමින් ජයග්‍රහණය කරා තම කණ්ඩායම මෙහෙය වූයේ ද මංගල සමරවීරය. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ කැබිනෙට්ටුවේ විදෙස් කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වූ මංගල සමරවීර, අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරියඅාරච්චි යන තිදෙනා 2007 පෙබරවාරි 9 වැනි දින කැබිනෙට්ටුවෙන් ඉවත් කෙරිණි. ඉන් අනතුරුව ශ්‍රීලනිප - මහජන පිළ නිර්මාණය කළේ ද මේ තිදෙනාගේ මූලිකත්වයෙනි. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව දේශාපාලනයේ නිරත වූ මංගල මහතා 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ සටනේ දී විපක්ෂ සංධානයේ සම ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය.
 
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව නව රජයේ විදෙස් කටයුතු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කැබිනෙට්ටුව නියෝජනය කළේය. 2019 ජනාධිපතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය හැර යමින් සමඟි ජන බලවේගය නිර්මාණය කිරීමට දායක වූ මංගල සමරවීර, 2020 මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කිරීමට නාම යෝජන ලැබුවද පසුව තමන් තරග නොකරන බවට ප්‍රකාශ කළේය. එමෙන්ම තමන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ මංගල 2021 ජුලි මාසයේදී 'සැබෑ දේශප්‍රේමියෝ' නම් සංවිධානය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේය.
 
වසර 31කට අධික දේශපාලන ගමන පුරා පෙරළිකාරයකු වූ මංගල සිය හෘද සාක්ෂියට එකඟව තමන් නියෝජනය කරන මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටි නායකයකු ලෙස ප්‍රකටය. මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැම විටම පෙනී සිටි චරිතයක් ලෙසත් මංගල සමරවීරව හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. කිසිදු විටෙක ජාතිවාදී හෝ ආගම්වාදී ස්ථාවරයන්ට වචනයකින්වත් සහායක් නොදැක්වූ මංගල මිය යන තෙක්ම තරුණ හදවතක් ඇත්තකු ලෙස නව තරුණ චින්තනය සහ තාක්ෂණ භාවිතාවන් නිවැරදිව ග්‍රහණය කරගත් අයකු බවත් පැහැදිලිය.
 
දේශපාලන මතිමතාන්තරවලින් ඔහුට ප්‍රතිපක්ෂ වූ බොහෝ දෙනා පවා ඔහුගේ මරණය මෙරට දේශපාලනයේ යුගයක අවසානයක් ලෙස අර්ථ දක්වන්නේ, මෙරට දේශපාලනය තුළ ඔහු සිදු කළ පෙරළිවල බලපෑම් ගැන හොඳින් දන්නා නිසා විය යුතුය. මීට සතියකට ඉහතදී ඔහු ජීවිතයෙන් සමුගත් බවට සමාජ ජාලවල පළ වූ පුවත් ව්‍යාජයක් බවත් ඔහු සුවය ලබමින් සිටින බවත් හෙළිව තිබියදී ඔහු එම පුවත් සියල්ල නැවතත් කනපිට පෙරළා අවසන් ගමන් ගොස් අවසන්ය. ඔහුට අපගේ ආචාරය!
 
(මේ ඡායාරූපයේ දැක්වෙන පසුබිම් චිත්‍රය සුජිත් රත්නායක විසින් 'චාකෝල්' භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. එහි නිරූපණය වන්නේ කෝවිඩ්වලට එරෙහි ද්වන්ධ සටනකි. දෛවෝපගත ලෙස මංගල මහතා එම සටනින් පරාජය වී තිබිණි. මේ ඡායාරූපය උපුටා ගත්තේ මංගල සමරවීර මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙනි.)