ගුරු-විදුහල්පතිවරුන්ට දීමට යෝජනා වූ රුපියල් 5,000ක අන්තර් දීමනාව මෙම මස සිට වැටුපට එක් කරන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (7) පැවසීය.

මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියැවීම සඳහා පක්ෂව ඡන්ද 134 ක් ද විරුද්ධව ඡන්ද 44ක් ද වශයෙන් හිමිවිය. ඒ අනුව පනත් කෙටුම්පත දෙවන වර කියැවිම වැඩි ඡන්ද 90 කින් සම්මත විය.

ඉන් පසුව මුදල් පනත් කෙටුම්පත පිළිබඳ තෙවැනිවර කියැවීම සංශෝධන සහිතව සම්මතවූ අතර තෙවනවර කියැවිම සඳහා ඡන්ද විමසීමක් ‍ නොපැවැත්විණි.

මුදල් පනත් කෙටුම්පත සඳහා විරුද්ධ බැවින් ඒ සඳහා බෙදීමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක , පාර්ලි‍මේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියැවීම සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය.

මේ අතර ඊයේ (07) විවාදයට ගැනුණු ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. එමෙන්ම විවාදයට ගත් අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මත වීමක් ද නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හා ආනයන හා අපනයන (පාලන)පනත යටතේ රෙගුලාසි කීපයක් ද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.