වයස අවුරුදු 30ට වැඩි මෙරට ජනගහනයෙන් සියයට සියයක් ආවරණය වන පරිදි කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ද, සියයට 80ක් ආවරණය වන ලෙස දෙවැනි මාත්‍රාව ද මේ වන විට අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඊයේ (7) පැවසීය.
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 60ක් ආවරණය වන ලෙස පළමු එන්නත් මාත්‍රාව ද, සියයට 40ක් ආවරණය වන ලෙස දෙවැනි මාත්‍රාව ද දී අවසන් බවත් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පෙළඹෙන ජනතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද, එන්නත් දෙකම ගත් පුද්ගලයන් වූවද කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම කළ යුතු යැයි ද ඒ මහතා කීවේය. කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12,823,147ක් වන අතර දෙවැනි මාත්‍රාව ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 9,414,851ක් දක්වා පෙරේදා (6) වන විට ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.
වයස අවුරුදු 60ට වැඩි මෙරට ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 70කට අධික සංඛ්‍යාවකට කොවිඩ් මර්දන එන්නත මේ වන විට දී අවසන් බව ස්වදේශ කටයුතු අමාත්යාාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඊයේ (7) ප්‍රකාශ කළේය. 60වැඩි ජනගහනයෙන් ලක්ෂ එකහමාරක පමණ පිරිසක් තවමත් එන්නත්කරණයට ලක්ව නැතැයිද හෙතෙම කීවේය. පොළොන්නරුව සියයට 88ක් ද, කුරුණෑගල සියයට 80 ක් ද, අම්පාර සියයට 75ක් ද, පුත්තලම සියයට 88ක් ද, මාතලේ සියයට 85ක් ද, කොළඹ සියයට 80ක් ද ලෙස දිස්ත්‍රික් මට්ටමින් වයස අවුරුදු 60ට වැඩි ජනගහනය මේ වන විට එන්නත්කරණයට ලක් කර ඇතැයි ද ඒ මහතා කීවේය. එන්නත්කරණ මධ්‍යස්ථානයන්ට පැමිණීමට නොහැකි නොයෙක් ආබාධවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන්ගේ තොරුතුරු ග්‍රාමසේවා වසම් මට්ටමින් ගෙන අදාළ ස්ථානයන්ට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ගොස් එන්නත්කරණය සිදු කරන්නේ යැයි ද හෙතෙම පැවසීය. වැඩිහිටි නිවාස 349ක වෙසෙන පුද්ගලයන් 8806කින් 8000කට පමණ මේ වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ කේ.ජී. ලැනරෝල් මහතා පැවසුවේය.
ඉදිරි සතියක පමණ කාලයක් තුළදී සමස්ත රට පුරා වෙසෙන සියලු වැඩිහිටියන්ට කොවිඩ් මර්දන එක් එන්නතක් හෝ දී අවසන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම වේ. කොවිඩ් මර්දන එන්නත් වන ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, ෆයිසර්, මොඩර්නා, සයිනොෆාම් සමස්තයක් ලෙස මාත්‍රා මිලියන 20.46ක් මෙරටට ගෙනැවිත් තිබෙන අතර රුපියල් බිලියන 35ක මුදලක් වැය කරමින් එන්නත් මිලදී ගැනීමට රජය පියවර ගෙන තිබේ.