වයස අවුරුදු 12 -18ත් අතර දරුවන්ට එන්නත්කරණය කඩිනමින් ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

දරුවන් සඳහා එන්නත් දීම ආරම්භ කිරීමත් සමඟ 7 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය කළ හැකි බවත් දරුවන් ලක්ෂ 20කට පමණ ඒ යටතේ එන්නත දීමට හැකි වනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය. කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් ‍විටින් විට පාසල් වසා දැමීමට සිදුව තිබෙන බැවින් හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට දරුවන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට අද (9) එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන කිහිපයක් දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳ මේ වන විට නිර්ණායක කිහිපයක් පෙන්වා දී ඇති බවත් ඇමැතිවරයා පැවසීය. මේ වන විට ගුරුවරුන් ඇතුළු අනධ්‍යයන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමයින්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කෙරේ.