වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳ 2021-09-11 වන දින ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා කළ දැනුම්වත් කිරීමේ නිවේදනයයි.

ආයුබෝවන්!

රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ, ජනාධිපතිතුමා විසින් ගත් තීරණය ප්‍රකාරව වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන්, සහල් හිඟය පිළිබඳව පැතිරෙන දුර්මත දුරුකරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත්, ආණ්ඩුවෙත් අදහස පිළිබඳව රට දැනුම්වත් කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය බලතල ප්‍රකාරව “මහජන ආරක්ෂණ පනත” යටතේ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 30 නිකුත් කළ බව ඔබ දන්නවා. ජනතාවාදී ආණ්ඩුවක වගකීම දරමින් ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතුවයි මෙම තීරණයට එළැඹියේ. ජන ජීවිතය යථාවත් කිරීමට අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම, ඒ පිළිබඳව සම්බන්ධීකරණය සේම පුළුල් අධීක්ෂණය වෙනුවෙන් ඊට සමගාමීව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණා.

ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම පිළිබඳව ඉදිරිපත්  කළ යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහිදී එය වැඩි ඡන්ද 81කින් මහජන නියෝජිතයන් අතින් සම්මත වූ බවත් රටටම දකින්න ලැබුණා. පවතින කොවිඩ් වතාවරණය පාලනය කිරීම වෙනුවෙන් රජය දැඩි අභියෝගයක් භාරගෙන සිටිනවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500කට වැඩි වැය බරක් අද වන විටත් දරා තිබෙනවා.

මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන ආකාරයට පවතින තත්ත්වයට මුහුණ දෙමින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ජනතාව වෙනුවෙන් කැප වී සිටින බවයි. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණවලදී කිසිඳු පාර්ශ්වයක් අගතියට පත් කරමින් කටයුතු කරන්න ජනාධිපතිතුමා කිසි විටෙකත් සූදානම් නැහැ.

සහල් පිළිබඳ ගැටලුව සියලු පාර්ශ්ව සමග සම්මුතියකට එළැඹ, විසඳීමටයි රජය මුල සිටම කටයුතු කළේ. ගොවියා, ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් ආරක්ෂා කෙරෙන සාධාරණ ක්‍රමවේදයක් රජය

නමුත් එම සහතික කළ වී මිලට සාපේක්ෂව නොගැළපෙන  පරිදි නාඩු සහල් කිලෝව රුපියල් 125ක්, සම්බා සහල් කිලෝව රුපියල් 150ක්, කීරි සම්බා සහල් කිලෝව රුපියල් 225ක් දක්වා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයන් දැඩි අසරණභාවයට පත් වුණා.

පීඩාවට පත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම උදෙසා “මහජන ආරක්ෂණ පනත” යටතේ පූර්ණ බලතල සහිතව පත් කෙරුණු අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා  ක්‍රියාත්මක වුණේ ඉන් අනතුරුවයි.  ඒ අනුව, සම්බා සහල් කිලෝවක උපරිම මිල ලෙස රුපියල් 103ක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක්, කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95ක් වශයෙන් එම පාලන මිල ගණන් ගැසට් කරනු ලැබුවා.

ඉන් අනතුරුව රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිගත් ව්‍යාපාරික ප්‍රජාව, රජය අපහසුතාවයට පත් කරන්නේ නැති බවටත් එකඟව කටයුතු කරන බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ බව ඔබට මතක ඇති. නමුත් අවාසනාවකට රජය සමග වූ එකඟතා ඔවුන් වෙතින් පැහැර හැරුණා. ඒ අතරම පසුගිය දින කිහිපය වන විට මහාපරිමාණ වී මෝල් හිමියන් විසින්  ඔවුන්ගේ දෛනික සහල්  නිෂ්පාදන සහ  බෙදාහැරීම් 50% කට වැඩි ප්‍රතිශතයකින්  පහත හෙලනු ලැබුවා.

කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් පීඩාවට පත් පාරිභෝගිකයාට මෙම තත්ත්වය දැරිය නොහැකි තරමේ අසාධාරණයක් බව සියලු දෙනා පිළිගන්නා කාරණයක්. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ වැටලීම්වලින් 2021 සැප්තැම්බර් 08 දින පමණක් ප්‍රධාන වී මෝල් හිමියන් සතු සහල් ගබඩාවලින් රජයේ පාලන මිලට සහල් කිලෝ ග්‍රෑම් 807,375ක් ලබාගෙන  සතොසට භාරදී තිබෙනවා.

මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස්, වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත් වීම තුළින්ම, මේ සියලු ක්‍රියා පසුපස ඇති දේශපාලනය ඔබට පහසුවෙන් වටහා ගත හැකිවනු ඇති.

කෙසේ නමුත් සුරක්ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් ජනවරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව තීන්දු තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, සෞභාග්‍යමත් රටක් ගොඩනගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.