ශ්‍රී ලංකාවේ සමස්ත ගංගා පද්ධතියම සංරක්ෂණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින්ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා  ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති රැසකට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරේ.   
 
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සුරකිමු ගංගා වැඩ සටහන සඳහා ඉල්ලුම් කරන ලද මුල්‍ය ප්‍රතිපාදන අනුව මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 200ක මුදලක් 2021 වසර සඳහා හිමිවිණී.මේ වන විට හඳුනා ගත්  ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කර ඇත.
 
මෙම මුදල් වැයකරමින්  අප රටේ ගංගා පද්ධතියට ඇතුළත් වන ගංගා 103ම සංරක්ෂණයට පියවර ගැනෙන අතර ඒ   ගංගා සංරක්ෂණය සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලින්  මේ වනවිට ව්‍යාපෘති  ඉදිරිපත් ව තිබේ. 
මේ අනුව සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කිරීමට හඳුනා ගන්නා ලද ව්‍යාපෘති සඳහා පළාත් කිහිපයකට වහාම මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස පරිසර ඇමැතිවරයා  අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.
 
මේ වනවිට අපේ රටේ වැඩිම පිරිසක් පාරිභෝජනය සඳහා ජලය ලබා ගන්නා ගංගාව මෙන්ම අප රටේ තිබෙන මෙන්ම දූෂිතම ගංගාව වශයෙන් සැලකෙන කැළණි ගඟ සංරක්ෂණය සඳහා වැඩිම මුදලක් වෙන් කිරීමට පියවර ගෙන ඇත.ඒ අනුව  කොළඹ හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාපෘති දෙකක්  සඳහා මෙයින් වැඩිම මුදල වෙන් කිරීමට පියවර ගෙන තිබේ. ඒ යටතේ  කොළඹ ප්‍රාදේශීය  ලේකම් බල ප්‍ර දේශය සඳහා රුපියල්විසිහය ලක්ෂ දහ අටදහසක මුදලක්ද, සීතාවක ප්‍රාදේශීය  ලේකම් බල  ප්‍රදේශය සඳහා රුපියල් අනුහය ලක්ෂ හැත්තෑ එක්දහසක මුදලක්ද  කැලණි ගඟ සංරක්ෂණය සඳහා වෙන් කිරීමට  පියවර ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ සඳහා ව්‍යාපෘති ඉදිරිපත් වීමට නියමිත ව ඇතැයි පරිසර අමාතයංශය කියයි.
 
ඒ අනුව මැණික් ගඟ ආශ්‍රිතව ව්‍යාපෘති කිහිපයක් සඳහා මොනරාගලට රුපියල් ලක්ෂ 128ක්, හා කතරගමට ලක්ෂ 40ක්ද, දකුණු පළාතේ ගංගා කිහිපයක ව්‍යාපෘති සඳහා රුපියල් 85,972,298ක මුදලක් ද, මධ්‍යම පළාතේ ගංගා කිහිපයක ව්‍යාපෘති  සඳහා රුපියල් 35,007,033ක් ද, වයඹ පළාතේ ගංගා කිහිපයක් සඳහා රුපියල් 54,40,854ක මුදලක් ද වෙන් කර ඇත. 
 
එමෙන්ම බස්නාහිර පළාතේ ගම්පහ පහුරු ඔය ආශ්‍රිත ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂ 11ක්, හා සබරගමුව පළාතේ රත්නපුර වළවේ ගඟ ආශ්‍රිත ව්‍යාපෘතියක් සඳහා රුපියල් ලක්ෂ 39ක් ද වෙන් කර ඇත. මේ හැර පළාත් 09යම ආවරණය වන පරිදි ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා දැනට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම පළාත්වලින් ඉදිරිපත් වන ව්‍යාපෘති අනුව අදාල මුල්‍ය ප්‍රතිපාදන එම ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට නියමිතය.