සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පහලොස්වන(15)සංවත්සර සැමරුම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී ඊයේ (13)පෙරවරුවේ පැවැත්විණ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර පහළොවක් පිරීම නිමිත්තෙන් ඊයේ(13)එම දෙපාර්තමේන්තුව දිනය සමරමින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී එම දෙපාර්තමේන්තුවේ ධජවලට ආශිර්වාද කරමින් ආගමිකවතාවත් සිදු කෙ‍රිණ .

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්.ආර් ලමාහේවාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ධජයන්ට ආශිර්වාද ගැන්වීම සිදුකෙරිණි.

අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ආශිර්වාද පතා මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ජායනාවක් ද පැවැත්විණි .

මෙම ආගමිකවතාවත් ලංකාරාමාධිපති හා උතුරු මධ්‍යම දිසාවේ අධිකරණ සංඝනායක රළපනාවේ ධම්මජෝති , ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති හා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධාන මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් සිදු කළහ.

'ග්‍රාම ආරක්ෂක සේවය ' 2006 වර්ෂයේ දී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත විශේෂ ගැසට් පත්‍රයක් මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් ලෙස එවකට ස්ථාපනය කොට තිබේ .

ඒ අනුව ඊයේ දිනයට යෙදුන දෙපාර්තමේන්තුවේ පහළොස්වැනි වසර සැමරීම සඳහා විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇති අතර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැති ආශිර්වාදමය ආගමික වැඩසටහන එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සමන්විතව සෞඛ්‍යය නිරෝධායන නීති අනුගමනය කරමින් පැවැත්විණි .