ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව සහ මා අතර සුහද හමුවක් ඊයේ (14) බොලොඤ්ඤා නුවර දී පැවැත්විණි.
 
ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස මෙලෙස මා නවාතැන් ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේ දී සුහඳ කතාබහකට එක් වූහ.
 
කොවිඩ්-19 වසංගතය තත්ත්වය හමුවේ වුව ද ඉතාලියේ සංචාරය කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් ලබා දීම ගැන එම නියෝජිත පිරිස මා වෙත සිය ස්තුතිය පළ කළහ.
 
මා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලයේ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ද්වි-පාර්ශවීය මිතුදම් හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳව ද පැමිණ සිටි පිරිස සිහිපත් කළහ.
 
මිලාන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට ජනාධිපතිවරයා ලෙස මා ගත් දූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේ දී ශ්‍රී ලාංකිකයන් රැසකගේ කාලය සහ මුදල් ඉතිරි වන බව මෙහි දී සඳහන් විය.
 
අනාගතයේ යම් දවසක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර විස්සක සේවා කාලයකින් පසුව එරටින් ලබා දෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුව ද ලබා ගැනීමේ හැකියාව උදාකර දෙන්නැයි පැමිණ සිටි පිරිස මගෙන් ඉල්ලා සිටියහ. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමඟ සාකච්ඡා කරන ලෙස විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට ඒ මොහොතේදීම උපදෙස් දුන්නෙමි.
 
G20 අන්තර් ආගමික සමුළුවට (G20 Interfaith Forum) එකතු වීමෙන් පසු ඉදිරි දින කිහිපයේ දී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.
මෙම හමුවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ඉතාලියේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.