දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡාවලට ඇරියුම් කරනවා
- මා බලයට පැමිණි පසු ත්‍රස්ත සැකකරුවන් නිදහස් කළා
- නැවත වරක් බෙදුම්වාදයක් ඇති නොවන බව සහතිකයි
- ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටු කරනවා
- කොවිඩ් වසංගතයට මුහුණ දීමට එක්සත් ජාතීන්ගේ සහාය අනර්ඝයි
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡාවලට ඇරියුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියේ ගුටරේස් හමු වූ අවස්ථාවේදී පෙරේදා (19) පැවසීය.
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී ගුටරෙස් මහතා පෙරේදා (19) හමු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබීම සතුටට කරුණක් බව එහිදී පැවසූ ජනාධිපතිවරයා, ලෝකය මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීම පිළිබඳ සහ දෙවැනි වරටත් මහලේකම් ධූරයට පත්වීම පිළිබඳ සිය සුභාශීංසන ඔහු වෙත පිරිනැමීය.
ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන සිටි බොහෝ තරුණයන් තමා බලයට පැමිණි පසු නිදහස් කළ බව පැවසූ ජනාධිපතිවරයා, නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගුකලක් අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ තරුණයන් පිළිබඳ නීති කෘත්‍ය අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්අඩංගුවේ සිටීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම පිරිසට ජනාධිපති සමාව දීමට තමා නොපැකිළෙන බවත් මහලේකම්වරයා සමඟ පැවසීය.
නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමාට සහතික විය හැකි වුවත්, ආගමික අන්තවාදය පිළිබඳ රජයක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යයන්ද සුපරීක්ෂාකාරී විය යුතු බවත් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.
මේ වන විට සමස්ත ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබේ. නොවැම්බර් මස අවසන්වීමට පෙර වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට භාජනය කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇති බවද සංඛ්‍යාලේඛන සහිතව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් විය. එම තත්ත්වය හමුවේ වුවද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරාත්මකව පැහැදිලි කළේය.
වින්දිතයන්ට වන්දි ගෙවීම, ඉඩම් නැවත පවරාදීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ උතුරු නැඟෙනහිර පළාතේ කළ විශාල සංවර්ධනය හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව හිමිකරදීම පිළිබඳ ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.
අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ රජය විසින් ගතයුතු පියවරයන් හැකි ඉක්මනින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බව ජනාධිපතිවරයා මහලේකම්වරයා සමඟ පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත්, ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කළ මෙන් බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජය යටතේ සිදු නොවන බවත්, උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසළ වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා පැවසීය. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමඟ එක්ව කටයුතු කරන ආකාරය ද රාජපක්ෂ මහතා විසින් පැහැදිලි කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සැමවිටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද කීවේය.
කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳ රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වූ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණදීමට දෙන සහාය ඇගැයීමට ලක් කළේය.