වරාය තුළ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආනයන අපනයන පාලක ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය. අගමැතිවරයා එම නියෝගය කළේ ඊයේ පැවති ජීවන වියදම් පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදීය.

රටේ මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳ අවධානය යොමු කරමින් අරලියගහ මන්දිරයේ සිට ‘සූම්‘ තාක්ෂණය ඔස්සේ ඊයේ (24) රැස් වූ ඇමැති මණ්ඩල අනුකාරක සභා රැස්වීම පැවැත්විණි.

එසේ නිදහස් වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාවට බෙදාහැරීමට කටයුතු කරන්නැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා, වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීමේ වගකීම වෙළෙඳ අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම නිලධාරීන් විසින් දැරිය යුතු බවටද මෙහිදී අවධාරණය කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කරන්නැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

ඒ අනුව අදාළ පරීක්ෂණය කඩිනම් කරන්නැයි අගමැතිවරයා ඒ මොහොතේදීම පොලිස්පතිවරයාට දුරකතනය ඔස්සේ දැනුම් දුන්නේය.

දේශීය බඩ ඉරිඟු ඵලදාව ලැබෙන තුරු දැනට පවතින ක්‍රමවේදයට විදේශීය වෙළෙඳපොළෙන් තවදුරටත් බඩ ඉරිඟු ඇතුළු සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ගැනීමට රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා කළ ඉල්ලීමටද මෙහිදී අනුමැතිය හිමි විය.

මේ හමුවට ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය ඇමැතිවරුන් වන ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ඩී. බී. හේරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අගමැති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල, රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, ආහාර කොමසාරිස් ජනරාල් ජේ. ක්‍රිෂ්ණ මූර්ති, ලංකා සතොස සභාපති මේජර් ජෙනරාල් ආනන්ද පීරිස් මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සමාගම් ප්‍රධානීන් හා අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.