වාහන ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය ආනයනය සඳහා පනවා ඇති තහනම ක්‍රමක් ක්‍රමයෙන් ලිහිලි කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ පිළිබඳ තීරණය දෙසැම්බර් මාසයේදී ගන්නා බවය.

ඉන්ටර්නෙට් ඔස්සේ ඊයේ (සැප්. 26) පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"වාහන පිළිබඳව අපි තීරණයක් ගන්නවා දෙසැම්බර් මාසයේ. දැනට මේ තත්ත්වයේ ම සිදු වී ගෙන යයි දෙසැම්බර් මාසය වෙනකම්. ඊට පස්සේ අනෙකුත් සාධක දිහා බලලා අපිට දෙසැම්බර් මාසය වෙනකොට ආනයනය පිළිබඳව විශේෂයෙන් ම වාහන ආනයනය, අනෙක් ආනයනය ගැන දාලා තිබෙන සීමාවන් අපි දිගින් දිගට ම පවත්වා ගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. 

එදා ආනයනකරුවන් හම්බවෙච්ච වෙලාව මම කිව්වා වැඩි තොග ගහගන්න යන්න එපැයි කියලා. මොක ද අවශ්‍ය වන සීමාවලට ආනයනය කර ගන්න කියලා. නැත්තම් සමහරක් අය ආනයනය කරලා ඒ බඩු, භාණ්ඩ මෙහෙ තියාගෙන ඉන්නේ ඩොලර් තොග ගහගන්නවා වගේ. මොක ද ඒගොල්ලෝ හිතන්නේ තවදුරටත් රුපියල අවප්‍රමාණය වෙයි. මේක 250ට යයි කියලා. එහෙම හිතාගෙන වැඩිපුර අරන් එනවා. එහෙම නොකර අවශ්‍ය ප්‍රමාණයට අරගෙන කටයුතු කරන්න. එතකොට මේ සමනය අපට ගේන්නට පුළුවන් පහසුවෙන්. 

ඒ නිසා එතෙන්ටත් අපි ඒ උපදෙස ලබා දීලා තියෙනවා. ඒ උපදෙස ටිකක් හොඳින් ම ලබා දීලා තියෙන්නේ. ඒක කෙරුවහ ම අස්ථාවරභාවය තමයි සිදු වෙන්නේ. අර මම කිව්වේ බෝට්ටුවේ යනකොට එක්කෙනෙක් දෙන්නෙක් වැඩිය උඩපනින්න නරකයි කියලා. ඒ අය ‍හොඳින් ගියොතින් බෝට්ටුව බොහො ම සන්සුන්ව ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අපි කටයුතු කරන්නට අවශ්‍යයි. අපි ඒකට උපදෙස් ලබා දෙනවා. ඒ පිළිබඳව අපේ සැලැස්මෙත් අපි යම් උපදෙස් ලබා දෙනවා ඒ සියලු ම පාර්ශවකරුවන්ට, අපනයනකරුවන්ට, ආනයනකරුවන්ට.

වාහන පිළිබඳව එකපාරට ම  ඕපන් කෙරුවොතින් නැවත වරක් සෑහෙන ලොකු පීඩනයක් එන්න පුළුවන්. ඉතින් ඒ පීඩනය මේ වෙලාවේ දරගන්නට බැරි වෙනවා. එය දරාගැනීම සඳහා යම්කිසි කාලසීමාවක් අවශ්‍යයි. ඊට පස්සේ අපිට ක්‍රමක් ක්‍රමයෙන් ලිහිල් කරන්න පුළුවන් වේවි. ඒකත් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නිසි වෙලාවට."