වසර 2050 වන විට ශ්‍රී ලංකාව කාබන්වලින් නිදහස් රටක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් සහගතව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක් වෙමින් 24 දා ප්‍රකාශ කළේය.

තිරසර බලශක්ති සංවර්ධනයට අඛණ්ඩව කැප වී සිටින ශ්‍රී ලංකාව වසර 2030 වන විට රටේ බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ අරමුණෙන් කටයුතු කරන බවත්

රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයට සමගාමීව ඉකුත් දා (24) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ බලශක්තිය පිළිබඳ රාජ්‍ය නායක සංවාදය ආරම්භ කෙරුණු අතර “සෑම කෙනකුටම දැරිය හැකි, විශ්වාසදායක සහ තිරසර බලශක්තීන් ලබා ගැනීමට ඇති හැකියාව සහතික කිරීම”යන්න තේමා කරගනිමින් මෙම සංවාදය පැවැත්විණි.

පෘථිවියේ සෞඛ්‍ය සහතික කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ තිරසර බලශක්ති විසඳුම් ප්‍රවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවත් රාජපක්ෂ මහතා කීවේය.

මානව අවශ්‍යතා සපුරාලන අතරම පෘථිවියේ සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රජාවගේ ඉහළම ප්‍රමුඛතාවක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

 

මිනිසා විසින් ඇති කරන පරිසර විනාශය නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියට ඇති වන තර්ජන තවදුරටත් නොසලකා හැරිය නොහැකි බව රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඉදිරි දශක කිහිපය තුළදී මෙම තර්ජනය අවම කර ගැනීමට නම් ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්තිය වෙත යොමුවීම අත්‍යාවශ්‍ය බව පැවසූ ජනාධිපතිවරයා වඩාත් තිරසර බලශක්ති උත්පාදනයට හා පරිහරණයට ප්‍රවේශවීමට උත්සාහ දරමින් සිටින දියුණු වෙමින් පවතින ජාතීන්ට සහායවන ලෙස ද හැකියාව ඇති සියලු රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

නව ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම, දේශගුණික විපර්යාසයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සඳහා දක්වන දායකත්වය පිළිබිඹු කරන්නක් බව පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව, නව ගල් අඟුරු බලයක් නොමැති බලශක්ති සම්මුතියේ සම - නායකයකු වීම ගැන ද සතුට පළ කළේය.

රටපුරා කුඩා ප්‍රමාණයේ සූර්ය බලශක්ති ව්‍යාපෘති 7,000ක ආයෝජනය කිරීමට එක්වන ලෙස ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්, කුඩා ව්‍යාපාර සහ ප්‍රජා සංවිධාන දිරිමත් කරමින් සිටින අතර රටේ විශාලතම සුළං විදුලි බලාගාරය ද මෑතකදී විවෘත කළ බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉදිරි දශක කිහිපය තුළදී පුනර්ජනනීය බලශක්තීන්, විශේෂයෙන් සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ සඳහා වන මහා පරිමාණ ආයෝජන තවදුරටත් ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

ජනපති එක්සත් ජාතීන්ට කියයි