නිදහස් කර ගත නොහැකිව වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 500ත් 600ත් අතර ප්‍රමාණයක් මේ දක්වා නිදහස් කර ගැනීමට හැකි වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරන්නන්ගේ වෙළෙඳ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා ඊයේ (30) ප්‍රකාශ කෙළේය.
මහ බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 50ක මුදල රාජ්‍ය අංශ බැංකු දෙක හරහා තම සංගමයේ සාමාජිකයන්ගේ ඉල්ලීම් මත ඒ ඒ බැංකුවලට ලැබී ඇති බවත් ඒ නිසා මෙලෙස කන්ටේනර් නිදහස් කර ගත් බවත් නාදන් මහතා කීය.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් හා ප්‍රමාදයකින් තොරව බෙදා හැරීමට ඒ අනුව ඉඩ ලැබෙන බවද ලේකම්වරයා සඳහන් කෙළේය.
කොළඹ හතරවැනි හරස් වීදිය පාදක කොට ගනිමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන තම සංගමයේ වෙළෙඳුන්ගෙන් රට පුරා භාණ්ඩ බෙදා හැරීමට පිට පළාත්වල වෙළෙඳුන් ක්‍රියා කරන බවද නාදන් මහතා විස්තර කෙළේය. අද (1) සිට නැවත වතාවක් රට විවෘත කරන නිසා වෙළෙඳාම් කටයුතු ක්‍රමිකව වර්ධනය වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කෙළේය.
කෙසේ නමුත් කොවිඩ් පාලන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව සිය වෙළෙඳාම් කරන්නැයි සංගමයේ සාමාජිකයන්ට දැනුම් දී ඇතැයිද ලේකම්වරයා පැවසීය.