මහ බැංකුව සය මාසික ආර්ථික ප්‍රතිපත්තිය එළිදක්වයි

  • ව්‍යාපාරිකයන්ට ණය සහන දෙන්න කෝටි 1,500ක්
  • දේ්පත් කර ගැනීම මාස 6කට තහනම්
  • පීඩාවට පත් වූ ණය හිමියන්ටත් සහන

අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී බැංකුවලින් ණයවර ලිපි නිකුත් කරන්නේ නම් එහි මුළු වටිනාකමට සමාන විදේශ මුදල් ප්‍රමාණය බැංකුවේ තැන්පත් කළ යුතු බවට පනවා තිබූ නීතිය ඊයේ (01) සිට අහෝසි කෙරිණි.

රථවාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති බාධා ඉවත් කිරීම සමාලෝචනය කරන බවත් ඉදිරි මාස හයේ ආර්ථික පෙර දැක්ම ඉදිරිපත් කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

මේ ක්‍රියාමාර්ගය ඇතුළු කෙටිකාලීන කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකා ආර්ථිකය නවෝදයක් කරා ගෙන යන විසඳුම් සහ සහන යෝජනා 20ක් අධිපතිවරයා ඉදිරිපත් කළේය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයන් මුහුණ දෙන බැංකු ණය සහ පොලී පිළිබඳ ගැටලුවට සහනයක් දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි 1500ක මුදලක් වෙන් කරන බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

මේසා විශාල මුදල එම පිරිසට සහයක් ලැබෙන අයුරින් කෙසේ යොදා ගත යුතු දැයි යන කරුණු පැහැදිලි කළ අදාළ බැංකු වෙත ඉදිරි සති 2, 3 ඇතුළත උපදෙස් දක්වා යවන බවද අධිපතිවරයා කීය.

කොවිඩ් නිසා බිඳ වැටී ඇති ව්‍යාපාර හා කර්මාන්ත හිමිකරුවන් නියමිත පරිදි ණය වාරික හා පොලී ගෙවීම් සිදු කොට නැති නම් බැංකු විසින් ඒ අයගේ දේපොළ පවරා ගැනීමේ නීති ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවනු ලැබේ.

 

රථ වාහන රැගෙන යෑමේ කටයුතු ඉදිරි මාස හයක කාලය තුළ නොකරන ලෙසද බැංකු හා මූල්‍ය ආයතනවලට දැනුම් දෙන බවද කබ්රාල් මහතා පැවසීය.

බිදවැටී ඇති මූල්‍ය ආයතන 6ක් නැවත පුනර්ජීවනය කර පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පැහැදිලි කළ අධිපතිවරයා ඒ සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද කීය. විදේශ විනිමය ගනුදෙනු කරන පෞද්ගලික මූල්‍ය ආයතන 27ක දැනට අහෝසි කර ඇති බලපත්‍ර ඉවත් කර නැවත ඒවාට මූල්‍ය ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත.

මෙරට ආර්ථිකය මුහුණ දෙන විදේශ විනිමය හිඟය ඇතුළු ආර්ථික අභියෝග රාශියක් එකින් එක ගෙන හැර දැක් වූ අධිපතිවරයා ඒ සියල්ල ජය ගැනීමට රජයත්, මහ බැංකුවත්, සමස්ත රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාත් තම තමන්ගේ කාර්යභාරය මනාව හඳුනා ගෙන අවංකව, විනයගරුකව ක්‍රියා කරන්නේ නම් හැකි වන බව අවධාරණය කළේය.

පිටරටවලින් මෙරටට රැගෙන එනු ලබන විදේශ විනිමය හැකි තරම් බැංකු ක්‍රමය මඟින්ම කරන්නැයිද ඒ සඳහා ඇති අනේවාසික විදේශ විනිමය ගිණුම් (RFC) සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් ඉදිරියේදී නොකරන බවට අධිපතිවරයා සහතිකයක් දුන්නේය. ඇතැම් දෙනා මේ ගිණුම් සම්බන්ධයෙන් හෝ එහි වෙනස්කම් කරාවි යැයි හෝ සිතා අවිශ්වාසයක් ඇති කර ගත යුතු නැතැයිද අධිපතිවරයා කීය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ කෙටි කාලීන නවෝදයක් ඇති කිරීමට මහ බැංකුව ගන්නා විසඳුම් 20ක් මෙහිදී ඉදිරිපත් කළ අධිපතිවරයා, මේවා සියල්ල එකින් එක ජය ගන්නා පරිදි ඉලක්කම් හා ඉලක්ක සහිතව එළි දැක්වීම විශේෂත්වයකි.

මේ අවස්ථාවට මුදල් මණ්ඩලයේ සාමාජිකයන්, නියෝජ්‍ය අධිපතිවරුන්, සහකාර අධිපතිවරුන්, මහ බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය හා රජයේ හා පෞද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ නියෝජිතයෝ සහභාගි වී සිටියහ.