“කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමඟ ආර්ථික කටයුතු ක්‍රමයෙන් සාමාන්‍යකරණය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මූර්ත දළ දේශීය නිෂ්පාදනයෙහි වර්ධනය සියයට හයක පමණ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂිතය. උද්ධමනය සියයට හතරයි දසම හයක් අතර අපේක්ෂිත ඉලක්කගත පරාසය තුළ ස්ථාවරව පවත්වා ගැනීම, පොලී අනුපාතික තව දුරටත් ස්ථාවරව පවත්වා ගැනීම, ව්‍යාපාර සඳහා වඩාත් හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තය නැවත නඟාසිටුවීම, ඉහළ ආයෝජන ප්‍රවාහ, වැඩි දියුණු වූ සාර්ව ආර්ථික මූලිකාංග සමඟ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑම, ශක්තිමත් සහ විනයකින් යුක්ත ආර්ථික තත්ත්වයක් ගොඩනැඟීම එම අපේක්ෂාය. මෙය ගතික සැලැස්මකි. ඉදිරියේදී මේ සැලැස්ම වැඩි දියුණු කිරීම, එයට යම් හැඩ ගැසීම් සිදු කිරීම හෝ එහි සමහර අංශ වෙනස් කිරීමට පවා කිසිදු ආකාරකින් පසුබට නොවීමට තරම් වග බලා ගන්නා බවට නම්‍යශීලීව සහ නිහතමානීව මහ බැංකුව අධිපතිවරයා

සඳහන් කර තිබේ. එය අගය කළ යුතු වූවකි.”

‘ආසියාවේ ආශ්චර්යය’ ලෙස වරෙක අභිමානයෙන් හැඳින්වූ ශ්‍රී ලංකාව, පසු ගිය වසර කිහිපය තුළ දැඩි අභියෝගවලට ලක් විය. එම අභියෝග හමුවේ ලක්වැසි සැම දෙනාගේ සිත් තැති ගැන්වීමකට පාත්‍ර වූ බව රහසක් නොවේ. එනමුත්, එලෙස තැති නොගෙන, ඇතිවී තිබෙන අසීරු අර්බුද සමනය කර ගනිමින්, ඉදිරි මාස හය; ඉදිරි වසර (2022) සහ ඉන් ඔබ්බට මැදි කාලීනව ශ්‍රී ලංකාවට, ආර්ථිකයට, ජනතාවට නව පණක් එක් කරන ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කෙළේය. මේ, ඒ පිළිබඳ කරන විමසා බැලීමකි.

වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග ගණන දහසක් ලෙස අධිපතිවරයා සිය සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථාපිතව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්මේ දක්වා තිබේ. මන්දගාමී ආර්ථික වර්ධනය සහ පීඩාවට පත්ව ඇති ව්‍යාපාර, කොවිඩ් ආශ්‍රිත සමාජ හා ආර්ථික කටයුතු සීමා කර ගැනීම හේතුවෙන් ඇති වූ දැඩි බලපෑම, විදේශ විනිමය හිඟය සහ ශ්‍රී ලංකා රුපියල තියුණු ලෙස අව ප්‍රමාණය වීම පිළිබඳ පවතින බිය, ආශ්‍රිත ණය ඉහළ යෑමට ඇති හැකියාව, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් තොගය ඉහළ යෑම ඒ අතර ප්‍රධාන වේ. නොපියවා ඇති විශාල අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර වගකීම හේතු වෙන් රාජ්‍ය ණය තිරසර භාවය පිළිබඳ පවතින අවදානම්, පහළ මට්ටමේ පවතින නිල විදේශ විනිමය සංචිත, දුර්වල ආදායම, නිල නොවන ප්‍රේෂණ ප්‍රවාහ ඉහළ යෑම, අහිතකර ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම, ගැටලුකාරී තත්ත්වවලට මුහුණ දී ඇති පාරිභෝගිකයන්, ආනයනකරුවන් විසින් ආනයනික භාණ්ඩ තොග රැස් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දැඩි අභියෝගවලට ලක් වෙමින් පැවතීම,

එදිරිවාදී දේශීය හා විදේශීය මාධ්‍ය වාර්තා, අපනයනකරුවන් විසින් විදේශ විනිමය රැස් කිරීම සහ විශ්වසනීයත්වය පිරිහීම, අප සමාජයේ තැති ගැන්මක් ඇති කිරිමට හේතු වී තිබේ. එහෙත්, අතීතයේ පවා දැඩි අභියෝගවලට මුහුණ දුන් අපේ රට, විවිධාකාරයෙන් පැමිණි එම අභියෝග ජය ගත් බව, මහබැංකු අධිපතිවරයා නැවත සිහිපත් කළේය.

ආර්ථික හා මිල ස්ථායීතාව

ආර්ථිකය ජය ගැනීමට අප යන මේ ගමනේදී, මූල්‍ය පද්ධති ස්ථායීතාව ඇති කළ යුතුය. එම කාර්යභාරය පැවරී ඇත්තේ, ප්‍රධාන වශයෙන් රජයට සහ මහ බැංකුවටය. ඊට අමතරව බැංකු අංශය, බැංකු නොවන අංශය, අපනයනකරුවන්, ආනයනකරුවන්, විදේශ විනිමය ණය දෙන්නන් හෝ ණයගැතියන්‍, සංවර්ධන කොටස්කරුවන්, ආයෝජකයන්, සේවා අපනයනකරුවන්, කර්මාන්තකරුවන්, විදේශ විනිමය හුවමාරු ආයතන, සිල්ලර වෙළෙඳුන් සහ තොග වෙළෙඳුන්, ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය, අනේවාසික ශ්‍රී ලාංකිකයන්, ප්‍රාග්ධන හා ණය වෙළෙඳපොළ, මහ බැංකුව, ශ්‍රී ලාංකික ජනතාව, මේ සඳහා දායකත්වය ලබාදිය යුතු කොටස්කරුවෝ වෙති. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සහ සාර්ව ආර්ථික ස්ථායීතාව ලබා ගැනීම සඳහා කාල රාමු ත්‍රිත්වයකින් යුතු සැලැස්මක් යෝජනා කරයි. ඒ අනුව, 2021 ඔක්තෝබර් 01 සිට 2022 මාර්තු 31 දක්වා මාස හයක කාල සීමාව සඳහා ඉදිරි දැක්මක් ඉදිරිපත් කර ඇත. එසේම, 2022 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31 දක්වා වසරක කාල සීමාව සඳහා වන ඉදිරි දැක්ම 2022 ජනවාරි 04 වැනි දින ඉදිරිපත් කෙරේ. එය, ණය නොවන මුදල් ප්‍රවාහ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දෙමින් විදේශීය ණය ව්‍යුහය වැඩි දියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය සහ විදේශ අංශයේ ඉලක්ක ළඟා කර ගැනීම, මැදි කාලයේ සිට දිගු කාලය දක්වා ඕනෑම කම්පනයකට ඔරොත්තු දීම සඳහා සියලුම සාර්ව මූලිකාංගවලට අදාළ ස්ථාවර තත්ත්වයක් ගොඩනැඟීම, දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම, අඩු උද්ධමන පරිසරයක් තුළ වඩා ඉහළ වර්ධනයක් ලබා ගැනීම, විදේශ විනිමය අභියෝගය සහ ණය සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන මේ කාලපරිච්ඡේදය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ආර්ථිකය නැවත නඟා සිටු වීමට හැකි වන පරිදි පැහැදිලි බව සහ නිශ්චිතභාවය ඇති කිරීම, මේ කෙරෙහි කෙටි කාලීන වශයෙන් අවධානය යොමු කිරීම සඳහා මූලික හේතුව වේ.

එම මාස හයක කාල සීමාව අවසන් වන විට, වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම සඳහා දැනට ගෙන ඇති ප්‍රයත්න සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇත. සංචාරක අංශයෙන් ලැබෙන මුදල් ප්‍රවාහ යථා තත්ත්වයට පත් වීමට ද ඉඩ ඇත. වරාය නගරය සහ කාර්මික කලාප ආරම්භ වීමත් සමඟ ඍජු විදේශ ආයෝජන ගලා ඒම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ මඟින්, ඉලක්කගත මාස හයක කාලය අවසාන වන විට විදේශීය අංශය සඳහා වඩාත් යහපත් පදනමක් සැපයේ.

තීරණාත්මක ගැටලු

කළ යුතු කාර්ය ලැයිස්තුව මඟින්, ආර්ථික හා මිල ස්ථායීතාව සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව කෙරෙහි තර්ජනයක් ඇති කෙරෙන තීරණාත්මක ගැටලු කෙරෙහි අවධානය යොමු කෙරේ. එහිදී මතු වන තීරණාත්මක ගැටලු තුනකි. එනම්, ණය සහ විදේශ විනිමය සම්බන්ධ ගැටලු, මූල්‍ය අංශයේ ගැටලු සහ සාර්ව ආර්ථික ස්ථායීතාවට අදාළ ගැටලු යනු ඒවාය. මූල්‍ය ප්‍රවාහ වඩාත් සමීපව නිරීක්ෂණය තහවුරු කිරීමට නිසි ක්‍රමවේද සකස් කෙරෙමින් පවතී. මැදි කාලීනව අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර ණය තොගය ක්‍රමයෙන් අඩු කරයි. එය දළ දේශීය නිෂ්පාදිතය සමඟ සම්බන්ධ කෙරේ. මූර්ත සඵල විනිමය අනුපාතය සැලකීමේදී ඉදිරි මාස තුන තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල්199 සිට රුපියල් 203 දක්වා මට්ටමේ තරගකාරීව පවත්වා ගෙන යෑම සහ ඉන් අනතුරුව එය සමාලෝචනය කිරීම අපේක්ෂිතය. එසේම, පුද්ගලික විදේශ මුදල් ගිණුම් (PFCA), (අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (NRFC) නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් (RFC) ලෙස පෙර හැඳින්වූ) සඳහා කිසිදු ආකාරයක වෙනසක් සිදු නොකෙරේ. ඔවුන්ට, වර්තමානයේ භුක්ති විඳින පහසුකම් සහ වරප්‍රසාද කිසිදු වෙනසකින් තොරව හිමිවේ.

රජය කළ යුතු කාර්ය ලැයිස්තුව

*බැංකු නොවන අංශය ඒකාබද්ධ කිරීමට පහසුකම් සැපයීම සඳහා සුදුසු බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම තුළින් මූල්‍ය අංශය ශක්තිමත් කිරීමේ උත්සාහයන්ට සහාය වීම.

*මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා රාජ්‍ය බැංකු මත යැපීම අඩු කිරීම.

*ණය ලබා ගන්නා මූලාශ්‍රය විවිධාංගීකරණය කිරීමට රජය සතු වාණිජ ව්‍යවසාය දිරිමත් කිරීම.

*රජය සතු වාණිජ ව්‍යවසායවල ඇතැම් අලාභ රාජ්‍ය බැංකු මඟින් මූල්‍යනය කිරීම නැවැත්වීම.

*ඛනිජ තෙල් වියදම් දැරීම සඳහා රාජ්‍ය බැංකු විසින් ලබා දෙන ණය ප්‍රමාණය අඩු කිරීම.

*පුළුල් සැලැස්මක් සහිතව අසාර්ථක භාවයට පත් වූ මුදල් සමාගම් හය සමඟ කටයුතු කිරීම.

මූල්‍ය ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ බලපත්‍රය අත්හිටුවා හෝ අවලංගු කර ඇති හෝ සියලුම බැංකු නොවන මූල්‍ය ආයතනවල ඉදිරි දැක්ම තක්සේරු කිරීම සඳහා සමාලෝචනයකට භාජනය වෙමින් පවතී. එවැනි බැංකු නොවන මූල්‍ය ආයතන නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන්නේ යැයි සැලකෙන්නේ නම්, නිසි ව්‍යාපාර සැලසුමකට යටත්ව ඒවා යළි නඟා සිටුවීම සඳහා ප්‍රාග්ධන ආයෝජන යෙදවීමට සැලසුම් සකස් කිරීමට නියමිතය.

 

*අදාළ ක්‍රියාකාරී සැලැස්ම පදනම් කර ගෙන අධිකරණ ක්‍රියාවලිවලදී අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීමට නියමිතය.

*බලපත්‍ර අත්හිටුවා ඇති බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්වල ආයොජනය කළ හැකි ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. කෙසේ වුව ‘නව සාමාන්‍යකරණය’ තුළ බැංකු අධීක්ෂණය කිරීම නව අභියෝගයක් වනු ඇත.

සාර්ව ආර්ථික ස්ථායීතාවට අදාළ ගැටලු

මූල්‍ය පද්ධතියේ සමස්ත ස්ථායීතාව සහතික කිරීමට සහ මුදල් ප්‍රතිපත්තියට සහාය වීමට අවශ්‍ය වන පරිදි සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති මෙවලම් භාවිත කිරීමට නියමිතය. තිරසාර සංවර්ධනය පිළිබඳ දිගු කාලීන දැක්මකින් යුතුව, දේශීය සහ විදේශීය සම්පත් ලබා ගැනීම සඳහා හරිත මූල්‍යන විකල්ප ගවේෂණය කරනු ඇත. සැමට ප්‍රතිලාභ ලැබෙන පරිදි ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. මංගත ක්‍රමවේද හරහා ක්‍රියාත්මක වන යෝජනා ක්‍රම ද ඇතුළුව, තහනම්/පිරමීඩ යෝජනා ක්‍රම මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගනු ලැබේ. තහනම් යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමෙන්, සාමාන්‍ය ජනතාව වැළැක්වීම සඳහා 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ පැවරී ඇති බලතල යටතේ මහ බැංකුව විසින් තව දුරටත් ගන්නා පියවර යටතට, තහනම් යැයි සැක කෙරෙන තහනම් යෝජනා ක්‍රම හා වෙනත් මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු හා පැමිණිලි පිළිබඳ කරුණු සෙවීමේ පරීක්ෂණ පැවැත්වීම, වැරැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට වාර්තා කිරීම, තහනම් /පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීම අයත්ය.

රටෙහි බොර තෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළඳපොළ වෙත ද්‍රවශීලතාව සැපයීම, විනිමය අනුපාතිකය පිළිබඳ සහ හිඟයක් ලබා දී රුපියල් වටිනාකම මඟින් නාමනය කරන ලද රජයේ සුරැකුම්පත්වල ආයෝජන ප්‍රවර්ධනය කිරීම, අපනයන ඉපැයීම් ලැබීම් අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කිරීම ශක්තිමත් කිරීම, විදේශ විනිමය ආපසු ගෙන්වූයේ නැති වුව හොත් සහ පරිවර්තනය නොකළ හොත් අපනයනකරුවන්ගේ ලාභ සඳහා 14%ක බද්දක් නොව, 28%ක බද්දක් අය කරන ලෙස රජයෙන් ඉල්ලීම, බලපෑමට ලක් වූ මුදල් සමාගම් සඳහා ද්‍රවශීලතා ආධාර සපයන අතරම ණය සහන කාලය දීර්ඝ කිරීම සඳහා කටයුතු කිරීම, වසංගතයෙන් බලපෑමට ලක් වූ ණය ගැනුම්කරුවන් සඳහා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වාහන නැවත පවරා ගැනීම, ඉදිරි මාස හයක කාලයකට අත්හිටුවීම, ඉදිරි මාස හයේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග වේ.

හානි අවම කිරීම

වසංගතය හේතුවෙන් දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට සිදු වූ හානිය අවම කිරීම සඳහා සැලැසුම් කළ යාන්ත්‍රණයක් හරහා, හිඟ පොලිය පියවීමට රුපියල් මිලියන 15000ක් වෙන් කිරීම, වසංගත කාලය තුළ අවශ්‍ය මුදල් සැපයීමට ගත් ක්‍රියාමාර්ග නැවත හැරවීම සඳහා මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිත කිරීම, මූල්‍ය අංශය තිරසාර ස්ථාවරත්වයක් කරා මෙහෙය වීම සඳහා සාර්ව විචක්ෂණ මෙවලම් මෙන්ම, සුක්ෂ්ම විචක්ෂණ නියාමනය සහ අධීක්ෂණ භාවිත කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදේශ විනිමය කඩිනමින් ලබා ගැනීමට පහසුකම් සැපයීම, සංක්‍රමණික දීමනාව සහ ආයෝජන පිටතට ගලා යෑම් මත පනවා ඇති උපරිම සීමා 2022 ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කිරීම, අත්‍යවශ්‍ය නොවන / හදිසි නොවන ආනයන සඳහා පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කෙරේ.

එසේම, 2022 ජනවාරි 01 දින සිට ආරම්භ වන පරිදි විදේශ විනිමය ගනුදෙනු අධීක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය (ITRS) ස්ථාපිත කිරීම, සේවා සම්බන්ධ විදේශ විනිමය ගලා ඒම අධීක්ෂණය කිරීම සහ එම මුදල් ආපසු රට තුළට ගෙන්වා ගැනීම හා පරිවර්තනය කිරීම සහතික කිරීම, කල් පිරෙන ණය බැඳීම් හැකි සෑම අවස්ථාවකදීම ණය නොවන මූලාශ්‍රය හරහා ලැබෙන නව ලැබීම් මඟින් පියවීම, වෙළඳපොළ තුළ ඉහළ මට්ටම් පවතී නම් 2022 වසරේ ජනවාරි මාසයේදී සහ හෝ 2022 ජුලි මාසයේදී කල් පිරෙන අන්තර්ජාතික ස්වෛරිත්ව බැඳුම්කරවල සමස්ත නිකුතුවම ආපසු මිලදී ගැනීම පිළිබඳ සලකා බැලීම, අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර දල දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට දහයක් හෝ ඊට අඩු වන තුරු, කල් පිරෙන අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර රජය විසින් අනෙකුත් රාජ්‍ය මඟින් ලබා ගන්නා ණය හරහා පියවීමට කටයුතු කෙරේ. ස්වෛරීත්ව ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට පියවර ගැනීම, නිල මාර්ග ඔස්සේ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලබා ගැනීම සඳහා දිරිමත් කිරීම, මුදල් හුවමාරු කරන්නන්ගේ බලපතු නැවත ලබා දීමෙන් ඔවුන් විධිමත් අංශයට යොමු කිරීම වැනි ක්‍රියාවට නංවන ලද ක්‍රියාමාර්ග මඟින්, මහජනතාව වර්තමානයේ මුහුණ දෙන දුෂ්කරතා ලිහිල් වනු ඇත.

ඍජු ප්‍රතිලාභ

පහත දැක්වෙන ක්‍රියාමාර්ග හරහා ඍජු ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට හිමිවේ. ඒ අනුව, ණයපත් මඟින් සිදු කරන ගෙවීම් ඇතුළත්ව, අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට අදාළ විදේශ විනිමය ගෙවීම් සඳහා පහසුකම් සැලසීම, 2022 වසරේ ජනවාරි මාසයේදී සංක්‍රමණ දීමනා මත පැනවූ සීමා ඉවත් කිරීම, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සඳහා පහසුකම් සැලසීම මඟින් බාධාවකින් තොරව සැලසුම් ලබා දීම සහතික කෙරේ. මේ ප්‍රතිඵල, කොවිඩ් - 19 වසංගතයේ බලපෑම්වලින් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට යථා තත්ත්වයට පත් වීම සඳහා සහාය වීමට මහ බැංකුව සහ රජය විසින් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා අනුපූරක වනු ඇත. මැදි කාලයේ සිට දිගු කාලීනව ආර්ථිකයේ ගමන් මඟ අපේක්ෂිත මාවත ඔස්සේ ගෙන යෑමට මේ ඉලක්ක සපුරාලන උපාය මාර්ග උපයෝගී වනු ඇත.

ඒ අනුව, එන්නත් කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වීමත් සමඟම සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් රට ක්‍රමයෙන් විවෘත කිරීම මඟින්, සෑම අංශයක්ම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම, ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීම පුළුල් වනු ඇත. මේ කාල පරිච්ඡේදයේදී ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී ලෙස ආර්ථික ක්‍රියාකාරකම්වල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අවිධිමත් ව්‍යාපාර සහ දෛනික වැටුප් ලබන්නන් වැනි අවදානමට ලක් විය හැකි කණ්ඩායමක් ඇතුළත් වේ. එසේම, ප්‍රාග්ධන වෙළෙඳාමට අදාළව නීති හඳුන්වා දීමත් සමඟ ආයෝජන වාතාවරණය ක්‍රමයෙන් වැඩි දියුණු වනු ඇත. වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත ක්‍රියාත්මක කිරීම සහ ප්‍රයෝජනයට නොගත් වත්කම් මුදල් බවට පත් කිරීමත් සමඟ තවත් ඍජු ආයෝජන ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නව ක්‍රියාමාර්ග

සංචාරක කර්මාන්තය වර්ධනය වීමත් සමඟ විදේශීය අංශයේ පීඩනය ක්‍රමයෙන් කළමනාකරණය වන අතර, විනිමය අනුපාතයේ වැඩි ස්ථාවරයක් සහ ජංගම ගිණුම් ශේෂය හිතකර ලෙස වර්ධනය වීම සහ විදේශ විනිමය සංචිත වර්ධනය වීම අපේක්ෂා කෙරේ.

ස්ථාවර මිල ගණන් සහ ශක්තිමත් සාර්ව ආර්ථික මූලිකාංග සමඟ මේ නව ක්‍රියාමාර්ග, ආර්ථිකයට වැඩි ස්ථාවරත්වයක් ලබා දෙයි. එමඟින් ශක්තිමත් හා විනයකින් යුතු ආර්ථික තත්ත්වයක් කරා ළඟා වීමට හැකිවනු ඇත. කෙටි කාලීන බාධක ජය ගැනීමෙන් පසුව, 2022 වසර සහ ඉන් ඉදිරියට වැඩි විශ්වාසයක් සහිතව ඉදිරියට යෑම ඉලක්කය වී ඇති බව, මහ බැංකු අධිපතිවරයා පවසයි.

2022 වසර අවසානය වන විට තවත් ධනාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කරමින් සිටී. ඒ අනුව, කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමඟ ආර්ථික කටයුතු ක්‍රමයෙන් සාමාන්‍යකරණය වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස මූර්ත දල දේශීය නිෂ්පාදනයෙහි වර්ධනය සියයට හයක පමණ මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂිතය. උද්ධමනය සියයට හතරයි දසම හයක් අතර අපේක්ෂිත ඉලක්ක ගත පරාසය තුළ ස්ථාවරව පවත්වා ගැනීම, පොලී අනුපාතික තව දුරටත් ස්ථාවරව පවත්වා ගැනීම, ව්‍යාපාර සඳහා වඩාත් හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීම,

ඉහළ ආයෝජන ප්‍රවාහ, වැඩි දියුණු වූ සාර්ව ආර්ථික මූලිකාංග සමඟ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යෑම, ශක්තිමත් සහ විනයකින් යුක්ත ආර්ථික තත්ත්වයක් ගොඩනැඟීම එම අපේක්ෂාය. මෙය ගතික සැලැස්මකි. ඉදිරියේදී මේ සැලැස්ම වැඩි දියුණු කිරීම, එයට යම් හැඩ ගැසීම් සිදු කිරීම හෝ එහි සමහර අංශ වෙනස් කිරීමට පවා කිසිදු ආකාරකින් පසුබට නොවීමට තරම් වග බලා ගන්නා බවට නම්‍යශීලීව සහ නිහතමානීව මහ බැංකුව අධිපතිවරයා සඳහන් කර තිබේ. එය අගය කළයුතු වූවකි. මේ ඉදිරිපත් කිරීම, ජයග්‍රහණයක නොව, විජයග්‍රහණයක සලකුණු තැබීමක් බව අපගේ අදහසය.