නිදහසින් පසුව ගෙවී ගිය හැත්තෑ පස් වසරක ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග හා ව්‍යසන කිහිපයකි. තිස් අවුරුදු යුද්ධය, දකුණේ තරුණ නැඟිටීම් දෙකක්, සුනාමි ඛේදවාචකය, පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මෙන්ම වර්තමාන කොවිඩ්-19 වසංගතය වශයෙනි. මේ අතරින්, රටේ ඒකීයභාවයට බරපතළ තර්ජනයක් එල්ල කළ මෙන්ම විශාල ජීවිත හා දේපළ විනාශයක්ද කළ එල්ටීටීඊ, ත්‍රස්තවාදී අභියෝගය සාර්ථකව ජය ගැනීමට රටට හැකි විය. විනාශකාරී යුද්ධය හේතුවෙන් දශක ගණනාවකින් ආපස්සට ගිය රට යළි පෙරට තැබිණි. 71 හා 87-89 තරුණ නැඟිටීම්වලදී ද විශාල ජීවිත හා දේපළ විනාශයක් සිදු විය. අහිමි වූ ජීවිත හැර විනාශයෙන් පසුබෑමට ලක්වූ රට යළි ගොඩනැඟීමට හැකි විය. සුනාමි ඛේදවාචකය නිසාද විශාල දේපළ විනාශයක් සිදු විය. එවර ද අහිමි වූ ජීවිත හැර විනාශය මතින් යළි නැඟී සිටීමට රටට හැකි විය. එකී ආපදා මෙන්ම ගැටුම්කාරී තත්ත්ව ප්‍රශස්ත මට්ටමින්ම නොවිය හැකි වුව ද සමස්තයක් ලෙස හා ඒ ඒ ආපදාවන්ගේ විනාශයට සාපේක්ෂව බලන කල සතුටුදායක මට්ටමින් කළමනාකරණය කර ගැනීමට පුළුවන් වී තිබේ.

සුභවාදී අපේක්ෂා

එවැනි සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම, විනාශය මතින් යළි නැඟී සිටීමේදී ජාතික එකමුතුව වැදගත් සාධකයක් විය. මේ කිසිදු අවස්ථාවක අපේක්ෂා කළ තරමට හෝ රට ඉල්ලා සිටි තරමට එය ගොඩනඟා ගැනීමට ජාතියක් ලෙස අපට හැකි නොවූ බව පිළිගැනීමට සිදු වේ. ඒ පටු දේශපාලන මතිමතාන්තර හා න්‍යාය පත්‍ර රටේ ඉදිරි ගමනට බොහෝ වර අකුල් හෙළූ බැවිනි. එබඳු බාධක මධ්‍යයේ වුව ද යම් මට්ටමක හෝ සාමූහික තත්ත්වයකින් යුතුව ඉදිරිය දකින්නට අප වෑයම් කර තිබේ. එකී ප්‍රයත්නයේ සාධනීය ප්‍රතිඵල යම් යම් මට්ටම්වලින් අත්කර ගැනීමට ද හැකි වී ඇත. මේ අභියෝගයන්ට රටක් ලෙස අප මුහුණ දුන්නේ දීර්ඝ කාල පරතරයක් සහිතව නොවේ. උතුර සහ නැඟෙනහිර බෙදුම්වාදයට එරෙහිව සටන් කරන අතරම, දකුණේ භීෂණ යුගය අත්විඳීමට අපට සිදු විය. සුනාමි ව්‍යසනය කඩා වැදුණේ ද ත්‍රස්තවාදයේ අභියෝගයට රට මුහුණ දී සිටියදීමය. තිස් අවුරුදු යුද්ධයේ නිමාවත් සමඟ සාමකාමීව ගෙවී ගියේ දශකයකි. උදෑසන සිට රෑ වන තුරු ඇසුණු පුහු සංහිඳියා ඝෝෂාවල් නිහඬ කරමින් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු විය. තුන්සියයකට වැඩි ජීවිත විනාශයට අමතරව ආර්ථික වශයෙන් රට පසුබෑමට ලක් විණි. සංචාරක ව්‍යාපාරයට ඇති වූයේ දැඩි බලපෑමකි. ජන ජීවිත අවිනිශ්චිතතාව සහ අනාරක්ෂිත බව විසින් වෙළා ගැනිණි.

රටේ අනාගතය පිළිබඳ යළි සුබවාදී අපේක්ෂා දැල්වුණේ 2019 වසර අග වන විට සිදුවූ දේශපාලන වෙනසත් සමඟය.

දැක්මක් සහිත ගමනකට පියවර තැබූව ද 2020 වසර ආරම්භයත් සමඟ බියකරු වසංගතයක් පිළිබඳ චීනයෙන් වාර්තා විය. ඉතා ඉක්මනින්, එය ලොවම වෙළා ගනිමින් තිබියදී කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි. එක් අතකින් එම ගෝලීය ස්වරූපය ඔස්සේ ද එමෙන්ම ජාතික ව්‍යසනයක් ලෙසද එය රටවලට බලපෑවේය. මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව ද එම බලපෑමට ලක් විය. මනා සූදානම, මෙහෙයවීම, කැපවීම, එක්ව මුහුණ දීම වැනි සාධක සමඟ පළමු වටය අප සාර්ථකව ජය ගත්තේ සෙසු ලෝකයේ ද අවධානයට ලක් වෙමිනි. දෙවැනි වටය ඊට වඩා සංකීර්ණ විය. වඩාත් බරපතළ වූයේ 2021 අප්‍රේල් මාසයෙන් පසු ව්‍යාප්ත වූ දැනටත් බලපවත්නා තෙවැනි වටයයි. කොවිඩ්-19 නව ප්‍රභේදවල දරුණු බව හමුවේ රටක් වශයෙන් අප ද පීඩාවට පත් වුව ද ඇද නොවැටෙමින් එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථක ලෙස පෙරට ගෙන යෑමට සමත් වීමේ ප්‍රතිඵල මේ වන විට දක්නට තිබේ. ගත වූ කාලය තුළ රට වරින්වර අගුළු දැමීමට සිදු විය. ඉකුත් වසරේ මාස නවයක් පමණ මෙරටට එක් සංචාරකයකු හෝ නොපැමිණියේ ඒ ලෙස රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදු වීම හේතුවෙනි.

සෞඛ්‍ය අභියෝග

කොවිඩ්-19 යනු සෞඛ්‍ය අභියෝගයක් වුව ද එහි බලපෑම් රටේ ආර්ථිකය, අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම බරපතළ ලෙස දැනිණි. එය මෙරටට පමණක් නොව ලෝකයටම පොදු තත්ත්වයක් විය. රටවල් අගුළු දැමීමත් සමඟ මුහුණ දීමට සිදුවූ ආර්ථික බලපෑම් කෙළවර රැකියා අහිමි වූවන් පිළිබඳ අමෙරිකාවෙන් පවා වාර්තා වූයේ මිලියන ගණනිනි. පෞද්ගලික අංශයේ තත්ත්වය වඩාත් අයහපත් විය. සේවකයන්ට අඩ වැටුප් ගෙවමින් ආයතන කඩා නොවැටී පවත්වා ගැනීමේ වෑයම දැරිණි. සංවර්ධනය වෙමින් පවත්නා රටවලට මෙම බලපෑම් අතිශයින්ම සංකීර්ණ ලෙස දැනෙන්නට විය.

එක් අතකින් ජීවිත ආරක්ෂා කර ගනිමින් මෙම සෞඛ්‍ය අභියෝගයට මුහුණ දීමට ගත හැකි ක්‍රියාමාර්ග රට තුළ දියත් විය. රට අගුළු දැමුව ද සෞඛ්‍ය මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් රටේ ආර්ථිකය පවත්වා ගැනීමට ගත් පියවර අගය කළ යුතු වන්නේ කෘෂිකර්මාන්තය, අපනයන ක්ෂේත්‍ර ආදිය එලෙස පවත්වා ගැනීමේ ප්‍රතිඵල සමඟය. අපනයන ක්ෂේත්‍රයට වසංගත තත්ත්වය කොපමණ අභියෝගයක් එල්ල කළ ද, තේ, ඇඟළුම්, කුළුබඩු ආදී අපනයන එම ක්ෂේත්‍රවල නියැළි අයගේ දායකත්වය හා කැපවීම ද සමඟ වාර්තාගත මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වී තිබේ.

 

මේ වර්ෂයේ මාර්තු මාසයෙන් පසුව යළිත් වරක් ජූලි මාසයේ දී මෙරට අපනයන ඇ. ඩො. බිලියනය ඉක්මවීය. (ශ්‍රී ලංකා රේගුව) එය මසක් තුළ වාර්තා වූ වැඩිම අපනයන ආදායම ලෙස සටහන් වේ. 2020 වසරේ ජූලි මාසයේ එම ආදායමට වඩා එය 1.33%ක වර්ධනයක් වන අතර, 2019 ජූලි ආදායමට වඩා 12.39%ක වර්ධනයකි. රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායමේ වර්ධනය 13.6%කි. කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වර්ධනය 11.47%කි. 2020 ජූලි මාසයට සාපේක්ෂව 2021 ජූලි මාසයේ ඇගලුම් අපනයන ආදායමේ අඩුවීමක් පෙන්නුම් කළ ද මේ වර්ෂයේ ජූනි මාසයට වඩා ජූලි මාසයේ එම අපනයන ආදායම 9.27%කින් වර්ධනය වී තිබේ. කුළුබඩු අපනයනයේදී කුරුඳු අපනයනයෙන්ද වාර්තාගත ආදායමක් ඉපැයීමට රටට හැකි විය. මේ වර්ෂයේ ජනවාරි-ජූලි කාල සීමාව තුළ අපනයනය 22.17%කින් වර්ධනය වී තිබේ. දීර්ඝ වශයෙන් සංඛ්‍යා හා දත්ත උපුටා නොදැක්වුව ද ඉහත දත්තවලින් වුව පැහැදිලි චිත්‍රයක් ඇඳෙනු ඇත. වසංගතය මඟින් ආර්ථිකය මත ඇති කර තිබෙන දැඩි පීඩනය හමුවේ එම අභියෝගයට ද මුහුණ දෙමින් සහ පවතින තත්ත්ව කළමනාකරණය කර ගනිමින් මෙවැනි වර්ධනයක් පෙන්වීමට හැකි වීම විශේෂ තත්ත්වයකි.

ශ්‍රම බළකාය

එහිදී, රට අගුළු දැමූ වකවානුවල පවා මෙවැනි ක්ෂේත්‍රවල නිෂ්පාදන සඳහා සිය ශ්‍රමය යෙදවූ විශාල පිරිසක් සිටිති. එම ශ්‍රම බලකායට එන්නත් ලබා දෙමින් ආරක්ෂිතව සිය වෘත්තියේ නියැළීමට අවශ්‍ය සහාය ලබා දී තිබේ. රාජ්‍ය අංශයේද විශාල පිරිසක් අධ්‍යාපන හා අනෙකුත් අවශ්‍ය සේවා සපයමින් කැපකිරීම් සහගත මෙහෙවරක නිරත වෙමින් සිටින බව අමතක නොකළ යුතුය. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා කප්පාදුවකින් තොරව වැටුප් දෙමින් රජය එම දායකත්වය ඇගයීමට ලක් කර ඇත. නිවසේ සිට රාජකාරි ඉටු කිරීමට ද අවස්ථාව සලසා තිබේ.

ඉකුත් පළමු වැනිදා සිට රට යළිත් යම් යම් සීමාවන්ට යටත්ව විවෘත විය. ඒ සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින්ම දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ මන්දගාමී වූ කාර්යයන් යළි සක්‍රීය කිරීම වෙනුවෙන් රාජ්‍ය අංශයට ද, පෞද්ගලික අංශයට ද විශාල වගකීමක් පැවරේ. වසංගත සමයේදී රටේ ජන ජීවිත රැක ගැනීම වෙනුවෙන් රජය අගය කළ යුතු කාර්යභාරයක් ඉටු කළ බව අගතිගාමී නොවන ඕනෑම අයකු පිළිගන්නවා ඇත. මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කළ ප්‍රතිශතය රටේ ජනගහනයෙන් 55%ට ආසන්නය. ඉදිරි මසක් හෝ දෙකක් වැනි කාල සීමාව තුළ එය 60% ඉක්මවනු ඇත. මේ වසර අවසන් වීමට පෙර මෙරට එන්නත්කරණ ඉලක්ක සපුරා ගැනීමට හැකි බව පැහැදිලිය. නියමිත කාලයට එම ඉලක්ක ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ප්‍රශංසාවට ලක්ව ඇත. අප එවැනි තැනක සිටින්නේ අප්‍රිකානු කලාපය වැනි රටවල් තවමත් එන්නත්කරණය 2%ක් වැනි මට්ටමක සිටියදීය. එන්නත්කරණය සම්පූර්ණ කිරීමේදී ජනගහනයෙන් 50% ඉක්මවූ රටවල් ඇත්තේ සීමිත ප්‍රමාණයකි. මෙරට ළමා පරපුර එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ ද දැන් ඇරැඹී ඇත. අධ්‍යාපන ක්‍රියාවලිය යළි දියත් කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

පශ්චාත් වසංගත සමය

තවමත් අපට පශ්චාත් වසංගත සමයක් පිළිබඳ කතා කළ නොහැකිය. අපට පමණක් නොව ලෝකයටම ඒ තත්ත්වය පොදුය. එසේ නම් අපට ඉදිරියට යෑමට සිදුව ඇත්තේ වසංගතයත් සමඟමය. එය පාලනය කර ගනිමින්ය. එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපැදීමට අපට හැකි නම්, අපට කල් නොයා වසන්තය දකින්නට පුළුවන් වනු ඇත. වසංගත ව්‍යාපෘතිය පාලනය කිරීමේදී වැඩිම වගකීම ඇත්තේ ජනතාව අතය. ඔවුන් සිය සමාජ වගකීම ඉටු කරන ප්‍රමාණයේ තරමට අපට නිදහසේ හුස්ම ගන්නට හැකියාවක් ලැබෙනු ඇත. මෙහිදී රට වෙනුවෙන් පැහැර නොහැරිය හැකි වගකීමක් බවත් අප ඉදිරිපිට තිබේ. ඒ මාස ගණනාවක් තිස්සේ ලැබූ සැහැල්ලුව ශක්තියක් කරගනිමන් නව ජවයකින් යුතුව රට ගොඩනැඟීම සඳහා අපේ කොටස ඉටු කිරීමය. වසංගතයට මුහුණ දුන් පරම්පරාව ලෙස අප එම බලපෑම්වලින් රට නිදහස් කර ගැනීමේ වගකීම හා බර අනාගත පරපුරට ඉතිරි කිරීම නොකළ යුතුව තිබේ. පටු අදහස් මතිමතාත්තර පක්ෂ දේශපාලන සටන් පාඨ-න්‍යාය පත්‍ර ටික කලෙකට හෝ පසෙකින් තබා, වසංගතය හමුවේ අප රැකගත් රට වෙනුවෙන් අපට ඉටු කළ හැකි මෙහෙවර ඉටු කිරීමට ද අප වෙනුවෙන් කැප වූ අය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ද මේ හොඳම කාලයයි.