ද්විපාර්ශ්විකව ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙරටේ ජනතාව නිවැරැදිව දැනුම්වත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිිංග්ලා මහතා සමඟ ඊයේ (05) ප්‍රකාශ කළේය.
එකඟතාවලට එළැඹෙන තීරණ සම්බන්ධයෙන් වාසි අවාසි පැහැදිලි කර දී ජනතාවගේ බහුතර කැමැත්ත ගෙන ක්‍රියාකිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.
ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග ඊයේ (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන්නේය. ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත් කිරීමට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යාමට ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපති රාජපක්ෂ මහතා කීය. දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර නිවැරදිව හඳුනාගත යුතු බව දෙපාර්ශ්වයේම අදහස විය.
පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් හඳුනා ගනිමින් ධීවර ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ හිමිකර දීමෙන් දීර්ඝ කාලයක සිට දෙරටේ ධීවරයන් මුහුණ පා සිටින පීඩාකාරී තත්ත්වයට විසඳුම් දිය හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දෙරට අතර ඇති වෙළෙඳ අසමතුලිතාව පිළිබඳ කරුණු පැහැදිලි කර දුන් ජනාධිපතිවරයා, කඩිනමින් එයට විසඳුම් දීමේ අවශ්‍යතාව ගෙනහැර දැක්වීය.
අතුරුදන්වූවන්, යුද්ධය හේතුවෙන් වැන්දඹුභාවයට පත්වීම ඇතුළු යුද්ධයක අතුරු ප්‍රතිඵල පිළිබඳව මනා අවබෝධයෙන් පසුවන බව යාපනය බලකොටුව මුදා ගැනීමේ දී ලද තම අත්දැකීම් සිහිපත් කරමින් හෙතෙම සඳහන් කළේය.
13 වැනි ව්‍යවස්ථාව සංශෝධනයේ දුර්වලතා සේම ශක්තීන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමේ කඩිනම් අවශ්‍යතාව පවතී. ශ්‍රී ලංකාවෙන් බැහැරව ගිය දෙමළ ජනතාවට නැවත රටට පැමිණීමට හැකි පසුබිම සැකසීම තම අපෙක්ෂාවයි. ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී තමා දෙමළ ඩයස්පෝරාවට සහ විදෙස් ගත දෙමළ ජනතාවට විවෘත ආරාධනාවක් කළ බවද රාජපක්ෂ මහතා, විදේශ ලේකම්වරයා සමඟ පැවසීය.
උතුර - නැඟෙනහිර සංවර්ධනයට තම රජයන් පසුගිය කාලයේ සිට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. යුද සමයේ දී ආරක්ෂාව වෙනුවෙන් අත්පත් කරගත් ඉඩම්වලින් 90%කට අධික ප්‍රමාණයක් මේ වන විට නිදහස් කර ඇත. අතුරුදන්වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීම සිදු කෙරෙමින් පවතින අතර යුද සමයේ ඇති වූ අනෙකුත් ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් දීමේ අවශ්‍යතාව තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර දෙනු ලැබීය.
දෙරටේ භුගෝලීය පිහිටීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති හෙයින් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිඳු ක්‍රියාවකට ශ්‍රී ලංකාව යොදා ගැනීමට ඉඩ නොතබන බව හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා පුළුල් පරිසරයක් සැකසී තිබේ. ඒ සඳහා ඉන්දීය ආයෝජකයන්ට ද විවෘතව ආරාධනා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ පවතින තත්ත්වය දෙරටටම සුබදායී ආකාරයෙන් නිරාකරණය කිරීමේ වගකීම විෂයභාර ඇමැතිවරයාට පවරා ඇති බව ද පැවසීය.
දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙහි දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.
ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට ඉන්දියාවේ පුහුණු අවස්ථා තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
විදුලිය භාවිතයේ දී කාර්යබහුල අවස්ථාවන් හඳුනාගෙන දෙරට අතර විදුලිබල හුවමාරුව කෙරෙහි ද අවධානය යොමු කෙරිණ.
කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ළඟා කරගෙන ඇති සාර්ථකත්වය ඇගයීමට ලක්කළ ඉන්දීය විදේශ ලේකම්වරයා කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කළේය. ජනාධිපතිවරයාගේ දීර්ඝ පැහැදිලි කිරීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා දෙරට අතර ඇති අදහස් සමාන බැවින් දෙරට අතර මිතුදම ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට හැකි බව පැවසීය.
ඉන්දීය අගමැතිවරයාට රාජ්‍ය සංචාරයක් සඳහා මෙරටට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා විදේශ ලේකම්වරයා හමුවේ දැන්වීය.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරු මේ හමුවට එක්ව සිටියහ.