සමකාලීන සමාජ සන්දර්භයේ ජීවත් වන පුද්ගල ජීවිතවලට අත්‍යවශ්‍ය උපාංගයක් වී ඇත්තේ ජනමාධ්‍යයි. ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මීට කලකට පෙර පුද්ගල ජන ජීවිතයේ සමාජ අවශ්‍යතාවන් පිළිබඳ ව තොරතුරු සපයනු ලැබීය. මේ වන විට ශ්‍රව්‍ය, ද්‍රෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍යයන්හි වටිනාකම් යටපත් කරමින් සමාජ මාධ්‍ය (Social Media) පුද්ගල ජීවිත ඇතුළටම කිඳා බැස තිබේ. අද වන විට පුද්ගල ජීවිතවල චර්යාත්මක වෙනස්කම් හැඳින්වීම, හැඩගැස්වීම, සිදු කරනු ලබන්නේ මාධ්‍ය විසින් මුදා හරිනු ලබන තොරතුරු වලිනි.

පුද්ගල කේන්ද්‍රීය ජනමාධ්‍ය

ආයතනගත ජනමාධ්‍ය ක්‍රියාවලිය මේ වන විට පුද්ගල කේන්ද්‍රීය ජනමාධ්‍ය භාවිතයත් දක්වා සංකේන්ද්‍රණය වී තිබේ. සෑම පුරවැසියකුම ජනමාධ්‍යකරුවකු බවට පරිවර්තනය වී ඇත. ඒ අනුව අප අත්දකිමින් සිටින්නේ "පුරවැසි ජනමාධ්‍යකරණයයි". පුරවැසි ජනමාධ්‍යකරණය යනු සමාජයේ ජීවත්වන පුද්ගලයන් තොරතුරු මාධ්‍ය ක්‍රියාවලියේ සන්නිවේදකයකු ලෙස ක්‍රියාකිරීමයි. අන්තර්ජාලය, ෆේස් බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්රෑම්, සූම් වැනි අන්තර්ජාල යෙදවුම් මඟින් පුද්ගලයන් තොරතුරු මාධ්‍ය ක්‍රියාවලිය හා බැඳී සිටී. තමන් දරන මතයක් ප්‍රකාශ කිරීම, යම් මතයකට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කිරීම ආදී වශයෙන් තොරතුරු ක්‍රියාවලිය තුළ පුරවැසියන් සක්‍රිය වීම සමාජ මාධ්‍ය ක්‍රියාවලියේ සුවිශේෂි ගුණාංගයකි. එම සුවිශේෂි බව පුරවැසි මාධ්‍යකරණය ශක්තිමත් කරන ප්‍රබල ආධාරකයක් බවට පත්ව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදයේදී තොරතුරු දැන ගැනීම හා ප්‍රකාශ කිරීම ජනමාධ්‍යයෙහි කාර්යභාරයට වඩාත් වැදගත් වී ඇත. සමකාලීන ගෝලීය සන්දර්භය පුරා අධිවර්ධිත ක්ෂේත්‍රයක් ලෙස සන්නිවේදන විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ජනමාධ්‍යයි. අන්තර්ජාතිකව මෙන්ම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වාණිජකරණයට හා වෘත්තීයකරණයකට ලක්ව තිබේ. ජනමාධ්‍යයේ පැවැත්ම තීරණය කරන සාධක ලෙස වාණිජකරණ හා වෘත්තීයකරණය හැඳින්විය හැකිය. වෘත්තීයකරණය යනු වෘත්තීයභාවය ඇති වීම නොවන බව තේරුම් ගැනීම වැදගත්ය.

රැකියාවක් බවට පත් වීම

මේ වනාහි ජනමාධ්‍යවේදය රැකියාවක් බවට පත් වීමය. වාත්තීයභාවය යනුවෙන් හැඳින්වෙන්නේ ජනමාධ්‍යකරුවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තම කාර්යය නිවැරදිව වටහා ගෙන සිවිල් සමාජයේ කොටස්කරුවකු ලෙස වෘත්තීය ආචාර්ය ධර්මයන්ගෙන්, මෙහෙයවීම හා ක්‍රියාකිරීමයි.

සමකාලීන සමාජ සංදර්භයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයකරණය හෙවත් වෘත්තීයභාවයක් ඇති නොවීම සුලබ ගති ලක්ෂණයක් වී තබේ. රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ග්‍රාහක ප්‍රේක්ෂාව වැඩිකරනසුළු ජනප්‍රිය මාධ්‍ය මෙහෙයුම් සුලබ ලක්ෂණයක් වී තිබේ. ග්‍රාහක ප්‍රජාව ආකර්ෂණය කරනු ලබන වැඩසටහන් ආකෘති හෙවත් ශානර මේවායේ පොදු ගති ලක්ෂණයකි. සමකාලීන සමාජ සන්දර්භය විමර්ශනය කරන විට පැහැදිලිව පෙනෙන ලක්ෂණයක් වී ඇත්තේ ජනමාධ්‍යවේදය වෘත්තීයභාවය මත පදනම්ව ක්‍රියාත්මක නොවන බවය. ගුවන් විදුලි , රූපවාහිනී නාලිකාවල සේවයේ නිරත ව සිටින ජනමාධ්‍යවේදීන් නාලිකාවෙන් නාලිකාවට, වැඩි පඩියෙන් තවත් වැඩි පඩියකට යන්නේ වෘත්තීයභාවය උදෙසා නොව වෘත්තීයකරණය නිසාය. එබැවින් ගුණාත්මක ජනමාධ්‍යවේදයක් සඳහා වෘත්තීයකරණය ඉක්මවා ගිය වාත්තීයභාවයක් ජනමාධ්‍යයයට ඇති කිරීම අත්‍යවශ්‍ය අංගයක් වී තිබේ.

විෂයක් ලෙස ප්‍රථම වරට ඉගැන්වීම

70 දශකය මුල් භාගයේ මෙරට වෘත්තීය ජනමාධ්‍යවේදයක් අපේක්ෂාවෙන් ජනසන්නිවේදනය විෂයක් ලෙස උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අධ්‍යයන කටයුතු ආරම්භ වී තිබේ. 1973 දී කැලණිය විශ්වවිද්‍යාලයේ දී ජනසන්නිවේදනය විෂයක් ලෙස ප්‍රථම වරට ඉගැන්වීම ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදන අධ්‍යපන පාඨමාලා බිහි වන්නේ එවකට පැවති විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පොදු අර්බුදයක ප්‍රතිඵල ලෙසය. 1971 තරුණ නැඟී සිටීම, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට අවශ්‍ය පසුබිම සකස් කළේය. රැකියාභිමුඛ උසස් අධ්‍යාපන පාඨමාලා බිහි වීම ආරම්භ වන්නේ 1971 තරුණ නැඟීසිටීමට හේතු සොයා බලන කොමිෂන් සභාවල නිරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල වශයෙනි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපන පාඨමාලාවලට ජනසන්නිවේදන අධ්‍යයනය ආරම්භ වී තිබේ.

1973 දී ආරම්භ වු ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදන අධ්‍යයන ඉතිහාසයට 2021 වසර වන විට අවුරුදු 48 ක් ගත වී තිබේ. ගෙවී ගිය වසර 48 ක කාලය තුළ කැලණිය විශ්වවිද්‍යාලයට අමතරව ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ජනමාධ්‍යවේදය පිළිබඳ ව ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි හා පශ්චාත් උපාධි වශයෙන් පාඨමාලා ගණනාවක් පවත්වාගෙන යනු ලැබේ. ජනමාධ්‍යය පිළිබඳ ශාස්ත්‍රාලීය උගතුන් බිහි කිරීම මෙම අධ්‍යාපන පාඨමාලාවන්හි දැකිය හැකි සුලබ ගති ලක්ෂණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ මේ දක්වා ජනමාධ්‍යවේදය පිළිබඳ වෘත්තීයභාවය ඇති කරන කිසිදු ආයතනයක් ව්‍යවස්ථාපිත නිතියෙන් ස්ථාපිත වී නොමැත.

අධ්‍යාපන අවකාශයන් පුළුල් වීම

 

අපගේ නිරීක්ෂණය වන්නේ ජනමාධ්‍යයේ වෘත්තීයභාවය පිළිබඳ ගැටලුවක් පවතින බවය. සමකාලීන සමාජ සන්දර්භයෙහි අධ්‍යාපන අවකාශයන් පුළුල් වීම සුලබ ගති ලක්ෂණයකි. වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා 25,000 ක පමණ පිරිසක් ඇතුළත් කර ගන්නා අතර, ඉන් මානව ශාස්ත්‍ර පීඨවලට ඇතුළත් වන විද්‍යාර්ථයන් බොහොමයක් අධ්‍යයන විෂයක් ලෙස ජනමාධ්‍යය තෝරා ගනු ලබති. ඔවුන් තෙවසරක සාමාන්‍ය උපාධි කාලය අවසානයේ හෝ සිව් වසරක විශේෂවේදී උපාධි අධ්‍යයන කාලයයෙන් අනතුරුව රැකියා වෙළෙඳපොළට ප්‍රවේශ වන්නේ ජනමාධ්‍යය පිළිබඳ ශාස්ත්‍රීය උගතුන් වශයෙන් විනා ජනමාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රායෝගිත අත්දැකීම් ලද වෘත්තීයවේදීන් වශයෙන් නොවේ. එබැවින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ දැකිය හැකි සුලබ ගති ලක්ෂණය වන්නේ වෘත්තීයභාවය නොමැති වෘත්තීයකරණය වූ ජනමාධ්‍ය කර්මාන්තයකි.

අතීතයේ සහ වර්ථමානයේ ද මාධ්‍ය සහ පාලක පන්තිය අතර නිතර ගැටුම්කරණ ලක්ෂණ දක්නට ලැබේ. මෙවැනි ගැටුම්කරණයන් සඳහා වෘත්තීභාවය රහිත වෘත්තීයකරණ වූ ජනමාධ්‍ය කර්මාන්තය මූලික හේතුවක් ව ඇත. මාධ්‍ය ආයතන සඳහා බලපත්‍ර දීමේ සිට මාධ්‍ය ආයතන සඳහා මාධ්‍යවේදීන් බඳවා ගැනීම දක්වා වූ ක්‍රියාවලියම නිසි ප්‍රමිතීන්ට හා උසස් ගුණාංගයන්ගෙන් යුක්ත නොවීම අපේ රටේ අවර ගණයේ මාධ්‍ය සම්ප්‍රදායක් බිහි වීමට බලපා තිබෙන හේතු සාධකයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

ලෝකයේ සංවර්ධිත රටවල මාධ්‍ය හිමිකාරීත්වය සඳහා සලකා බලන උසස් ප්‍රමිතීන් අපේ රටේ මාධ්‍ය හිමිකාරීත්වයට අදාළ වී නොමැත. මූල්‍ය ප්‍රාග්ධනය හා දේශපාලන බල සබඳතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරිත්වයට තිබිය යුතු හෝ පැවතිය යුතු මූලික ලක්ෂණයක් වී තිබේ. එවැනි සංදර්භයක දී ප්‍රමිතිගත වෘත්තීයභාවයකින් යුතු මාධ්‍ය ආයතනයකින් ඉටු විය යුතු කාර්ය හෝ ගුණාංග ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වෙතින් බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවේ. එලෙසම වෘත්තීයභාවය නොමැති මාධ්‍යවේදීන් වෙතින් යහපත් මාධ්‍ය භාවිතයක් අපේක්ෂා කිරීම ද යථාර්ථවාදී නොවේ. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදය යනු වෘත්තීයකරණය සපුරාලීමක් පමණි. වෘත්තීයකරණය සපුරාලීම වාත්තීයභාවය නොවන බව ද පැහැදිලිව තේරුම් ගත යුතුය.

වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම

එබැවින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අධ්‍යාපන ඉතිහාසයට වසර 48 ක් ගෙවී ගිය තැන මාධ්‍යයේ වෘත්තීයභාවය උදෙසා ශ්‍රී ලංකාවේ වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීමට වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වීම වැදගත් ය.. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කරමින් ශ්‍රි ලංකාවේ වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටු වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට අන්තර්ජාතික මට්ටමේ වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටු වීමට යෝජනා කිරීම අගය කළ යුතුය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය හා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදය ප්‍රමිතිගත මට්ටමට ගෙන ඒමට මෙවැනි කාලීන යෝජනා වැදගත් යේ. ශ්‍රී ලංකාවේ කුණු වූ සහ මජර සමාජ දේශපාලන සංස්කෘතිය තුළ ජරාජීර්ණ නොවූ උසස් ජනමාධ්‍යවේදයක් ඇති කිරිමට සමස්ත මාධ්‍ය සංස්කෘතිය සහ මාධ්‍ය භාවිතය පුළුල් ප්‍රතිසංස්කරණයකට භාජනය කළ යුතුය. ඒ සඳහා අන්තර්ජාතික මට්ටමින් වරලත් ජනමාධ්‍ය ආයතනයකට සුවිශේෂී කාර්ය භාරයක් පැවරේ. ඒ සඳහා පළමු කොටම ජනමාධ්‍යවේදියාට වෘත්තීයභාවයක් හිමි කර දීම අත්‍යවශ්‍ය වන්නේය. එය හුදු සහතික පත්‍රයකට, උපාධි සහතිකයකට වඩා ඔබ්බට ගිය වෘත්තියකරණය පිළිබඳ ප්‍රවීණත්වයක් හා පරිචයක් සහිත ක්‍රියාවලියක් වීම අත්‍යවශ්‍යය.

උපායමාර්ගික උපස්ථම්භය

“කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පවතින නීරෝගි ලක්ෂණයක් නම් අන්තර්ජාතික සම්මුතීන් විසින් පිළිගන්නා භාෂණයේ හා ප්‍රකාශනයේ ඇති නිදහසයි. ජනතාවට නිවරැදි දේශපාලන, ආර්ථික සහ සමාජීය තීරණ ගැනීමට හැකි වන්නේ ඔවුන් නිවැරැදි තොරතුරුවලින් හා දැනුමින් සන්නද්ධ වූ විට ය. ඒ සඳහා බාධා විරහිතව තොරතුරු, දැනුම හා මතවාද සන්නිවේදනයට අවකාශ තිබිය යුතු බව අපි පිළිගන්නෙමු.” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දැක්වේ. මෙම සංකල්පය යථාර්ථයක් කරන උපායමාර්ගික උපස්ථම්භය ලෙස ජනමාධ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදීන්ගේ ආයතනය හඳුන්වාදීමට පුළුවන.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වන පිටුවේ “පැහැදිලි ජනමාධ්‍ය ප්‍රතිපත්තිය“ පරිච්ජේදයේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා එකොළොස් වැදෑරුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. එහි සිව්වන යෝජනාව මෙසේ වන්නේය. “ඉහළ වෘත්තීය නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල රාජ්‍ය අනුග්‍රහය සහිත ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවනු ලැබේ. “ යනුවෙන් සඳහන් වේ. ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා යෝජනා කරන ශ්‍රී ලංකාවේ වරලත් මාධ්‍යවේදී ආයතනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පැහැදිලි ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් යන ශීර්ෂය යථාර්ථයක් කරන යෝජනාවක් ලෙස ඒ අනුව හැඳින්විය හැකිය.

ජනමාධ්‍යය, රටක පාලනයේ හතරවන ස්ථරය ලෙස කලකට පෙර හඳුන්වනු ලැබීය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන උපස්ථම්භක 3 මඟින් රටක පාලන ව්‍යුහය බලාත්මක කර ඇත. එම උපස්ථම්භක තුන හැරුණු විට බලවත්ම උපස්ථම්භකය ලෙස සමාජ හා දේශපාලන විචාරකයන් හදුන්වන්නේ ජනමාධ්‍යයයි. ජනමාධ්‍යයෙහි මෙහෙයුම්කරුවා ජනමාධ්‍යවේදියාය. රටක පාලනයෙහි ප්‍රබල උපස්ථම්භකයක, මෙහෙයුම්කරුවකු වන ජනමාධ්‍යවේදීයා වෘත්තීයභාවයෙන් බලාත්මක කිරිම නිවැරැදි ආණ්ඩුකරණයකට මහෝපකාරී වන්නේය. එබැවින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යකරණය නව දිශානතියකට යොමු කරන තීරණාත්මක සංදිස්ථානයක් ලෙස වරලත් ජනමාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා කටයුතු කිරිම පෙන්වා දීමට පුළුවන.