ස්වයං විවේචනය පිළිබඳ සංකල්පය අපට මුලින් ම හමුවන්නේ බෞද්ධ හා කතෝලික ඉතිහාසයෙනි. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ඉක්ම ගිය තැන සප්තපර්ණී ගල් ගුහා පරිශ්‍රයේ මහරහතන්වහන්සේ පන්සියයක් බුදුන් වදාළ ධර්මය යළි සංගායනා කළේ නිර්මල බුද්ධ දේශනය පිරිපහදු කර ගැනීම වෙනුවෙනි. මෙලෙස තවත් අවස්ථා දෙකක දී සංගායනා පිළිබඳ තොරතුරු බෞද්ධ ශාසනික ඉතිහාසයේ සඳහන් වෙයි. මේ සියල්ලේ අරමුණ වූයේ, නිර්මල බුදු දහම සුරක්ෂිත කර ගැනීමය. එවැනි සංගායනා නොවන්නට බුදු සසුන බොහෝ කලකට පෙර වැනසී යෑමට පවා තිබුණි. එහෙත් සංගායනාව නම් වූ ස්වයං විවේචනයෙන් බුදු සසුනට එකතු වී තිබූ අකැප දෑ බැහැර කොට නිවැරැදි දේ තහවුරු කිරීම හේතුවෙන් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත වී තිබේ. ඒ අනුව ස්වයං විවේචනය යනු, බෞද්ධ ශාසන වංශයට අලුත් යමක් නොවන බව පැහැදිලි ය. එලෙසම කිතුනු ශාසනික ඉතිහාසයේ ඇති ‘පව් සමා කිරීම’ නම් සම්ප්‍රදාය ද ස්වයං විවේචනයක් ලෙස හැඳින්විය හැකිය. පුද්ගලයකු තමන් අතින් සිදු වූ වරද පිළිබඳ ව මනස්තාප වෙමින් යළි එවන් වැරැදි සිදු නොකිරීමට දෙවියන් වහන්සේගේ නාමයෙන් පොරොන්දු වීම හා ඒ පොරොන්දුව දිවි හිමියෙන් රැකීමට පොරොන්දු වීම යනු ස්වයං විවේචනයකි.

වැරැදි, අඩුපාඩු, දුර්වලතා මඟහැර ගැනීමට, නිවැරැදි කර ගැනීමට ස්වයං විවේචනය තරම් වටිනා අවස්ථාවක් තවත් නැති තරම්‍ ය. ශාසනික ඉතිහාසය හා සමකාලීන සංඝ සමාජය විමර්ශනය කිරීමේ දී අපට තවත් වැදගත් ස්වයං විවේචනාත්මක ක්‍රියාවක් නිරීක්ෂණය වේ. උපසපන් භික්ෂූන් වහන්සේ යම් නිශ්චිත කාලයක දී ‘පෝය කර්ම’ ක්‍රියාවක නිරත වේ. පෝය කර්මයේ අදහස ද ස්වයං විවේචනය හා සමාන ය. භික්ෂූන් වහන්සේ තමන් වහන්සේ අතින් සිදු වූ වැරැදි අඩුපාඩු පිළිබඳ ව ධර්මධර, විනයධර, ශීලධර ජේෂ්ඨ භික්ෂූන් වහන්සේ ඉදිරිපිට නිවැරැදි කර ගැනීම පිළිබඳ වූ ශික්ෂාව සමාදන් වීම පෝය කර්මය නමින් හැඳින්වේ. ඒ අනුව පෙර අපරදිග ආගමික හා දාර්ශනික ඉගැන්වීම්වල ස්වයං විවේචනය සඳහා වැඩි වටිනාකමක් දී තිබෙන බව නිරීක්ෂණය වේ. ආගමික ඉගැන්වීම පිළිබඳ ව පොදුජන විශ්වාස තහවුරු වීමට ඒ තුළ වූ ස්වයං විවේචනශීලී ගුණය මහෝපකාරී වී තිබෙන බව මේ අනුව තහවුරු වේ.

මූලික මාක්ස්වාදය

පෙර අපර දෙදිග ආගමික හා ඒ හා සැබැඳි දාර්ශනික ඉගැන්වීම්වල ස්වයං විවේචනය වැඩි වටිනාකමක් දිනා ගෙන තිබිය දී, වඩාත් විද්‍යාත්මක දේශපාලන දර්ශනයක් වන මාක්ස්වාදය තුළ ද අභ්‍යන්තර ස්වයං විවේචනය සඳහා ඒ හා සමාන ව්ටිනාක්මක් දී තිබේ. මූලික මාක්ස්වාදය ගුරු කොට ගත් දේශපාලන පක්ෂ, දේශපාලන ව්‍යාපාර තම මතවාදී චින්තාවන් වඩාත් ප්‍රශස්ත තලයට ඔසවා තබා ඇත්තේ එම ව්‍යාපාර නිවැරැදි ස්වයං විවේචනයක නිරත වීම හේතුවෙනි. එහෙත් සමකාලීන ගෝලීය හා ජාතික රාජ්‍ය දේශපාලන සන්ධර්භයක ස්වයං විවේචනය යනු නොවැදගත් සංකල්පීය අවකාශකි. වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම්වල දී අපට වෘත්තීය දේශපාලන නායකයන් දක්නට නොමැත. අපට නිරීක්ෂණය වන්නේ වෘත්තීයකරණය වූ දේශපාලන රංචු හා කණ්ඩායම් ය. එහෙත් අන්තර්ජාතික කොමියුනිස්ට් ව්‍යාපාරය තුළ වෘත්තීය දේශපාලන ක්‍රියාකාරකම් හා දේශපාලන මැදිහත්වීම් දක්නට ලැබුණි. එම දේශපාලන ව්‍යාපාරවල වූ වෘත්තීමය ස්වභාවය නිසාම ඒ තුළ ස්වයං විවේචනයට වැඩි වටිනාකමක් ලැබුණි.

දේශපාලනයේ දී, ස්වයං විවේචනය වඩාත් සාකච්ජාවට බඳුන් වන්නේ සහ සංවාදයට ලක්වන්නේ මූලික මාක්ස්වාදය ගුරු කොටගත් දේශපාලන පක්ෂ වෙතිනි. සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව පැවති සමයේ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ අභ්‍යන්තර ස්වයං විවේචනය දක්නට ලැබුණි. පක්ෂයේ උත්තරීතර ආයතනය වූ දේශපාලන මණ්ඩලයේ දී පක්ෂයේ අතීත හා වර්තමාන භාවිතයන් පිළිබඳ ව දේශපාලන මණ්ඩල සභිකයන් ස්වයං විවේචනයට ලක් කෙරේ. එම ස්වයං විවේචනය අනාගත දේශපාලන ගමන්මඟ වඩාත් නිවැරැදි දිශානතියකට යොමු කරවීමට මහෝපකාරී විය.

පෙරස්ත්‍රෝයිකා හෙවත් ප්‍රතිසංස්කරණ

වී. අයි. ලෙනින්, ජෝෂප් ස්ටාලින්, නිතිකා කෘෂේව් වැනි කොමියුනිස්ට් නායකයන් විවිධ අවස්ථාවල දී සෝවියට් දේශයේ ගමන්මඟ පිළිබඳ ව ස්වයං විවේචනවල නිරත වූහ. 1989 කුප්‍රකට "පෙරස්ත්‍රෝයිකා හෙවත් ප්‍රතිසංස්කරණ" වැඩපිළිවෙළ ද එක්තරා ආකාරයක කල් ඉකුත් වූ ස්වයං විවේචනයක ප්‍රතිඵලයකි. 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයෙන් වසර 72 ක් ගිය තැන නිසි අවස්ථාවේ දී නිසි ස්වයං විවේචනයන් කොමිනියුට්ස් නායකයන් විසින් සිදු නොකිරීමේ අවසන් ප්‍රතිඵලය සටහන් කළේ ලෝකයේ විශිෂ්ටතම සමාජවාදී සමුහාණ්ඩුව 1989 දී බිඳ වැටීම සනිටුහන් කරමිනි. මිකායිල් ගොබර්චෝව්ගේ නායකත්වයෙන් යුතු සමාජවාදී සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුව බිඳ වැටෙන්නේ නිසි අවස්ථාවේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ සිදු නොවීමෙනි. විය යුතු ස්වයං විවේචනය සිදු නොවීම ප්‍රතාපවත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව බිඳ දැමීම දක්වා ගමන් කළේය. විවේචනය හා ප්‍රතිසංස්කරණය විය යුතු අවස්ථාවේ සිදු නොවීමේ ප්‍රතිඵල සටහන් කළේ ලෝකයේ පළමු සුපිරි රාජ්‍ය ලෝකයට අහිමි කිරීමය.1989 දී ලෝකයේ තනි බලවතා ලෙස අමෙරිකා එක්සත් ජනපදය අභිෂේක ලබන්නේ සෝවියට් කොමියුනිස්ට් සමූහාණ්ඩුව අවැසි මොහොතේ සිදු නොකළ ස්වයං විවේචනය හේතුවෙනි.

ඒ අර්ථයෙන් ගත් කල්හි වසර 22 ක යුද හමුදා සේවයෙන් ලද විශිෂ්ට විනයත්, ශික්ෂණයත් පරිපාලකයකු ලෙස ලද අත්දැකීමෙනුත් පොහොසත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙන්ම, පසුගිය ඉරිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ පැවැති උත්සවයේ දී වසර 2 ක සිය ආණ්ඩුවේ ගමන්මඟ පිළිබඳ ව කරන ලද ස්වයං විවේචනය අතිශය වැදගත් ය. සිය කථාවේ දී ජනාධිපතිවරයා සිදු වු අඩුපාඩු නිවැරැදි කර ගනිමින් “එක නීතියත් එක රටක් ” යටතේ දුෂණයෙන් තොරව තමාත් තම රජයත්, නිවැරැදිව ඉදිරියට යෑමට සූදානම් බවට කළ අධිෂ්ඨානශීලී ප්‍රකාශය ජනතාවට අලුත් ජවයක් දී තිබේ.

ඓතිහාසික කියැවීම

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බලයේ සිටි රාජ්‍ය නායකයකු රාජ්‍ය බලය හොබවමින් සිටිය දී සිය අඩුපාඩු නිවැරැදි කර ගන්නා බවට කියන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. ජනාධිපතිවරයාගේ මෙම ඓතිහාසික කියැවීම

අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල නායකයන්ට අඩුපාඩු සකස් කර ගැනීමට සහ එම අඩුපාඩු පිළිබඳව ස්වයං විවේචනයක් ඇති කර ගැනීමට යථාබුද්ධිය පහළ කර ගැනීමට මනා පෙළැඹවීමකි. බොහෝ නායකයන්ට ස්වයං විවේචනය මතක් වන්නේ ස්වකීය බලය අහිමි වන මොහොතේ දී හෝ බලය අහිමි වීමෙන් අනතුරුව ය. මේ සම්බන්ධයෙන් ඇති ජනප්‍රිය කියමන වන්නේ "බලය ඇති විට මොළය නැතිකම සහ මොළය ඇති විට බලය නැත යනුවෙනි". අපගේ බොහෝ නායක කාරකාදීන්ට බලය ඇති විට බලය පරිශීලනය කිරීම පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැතිකම විද්‍යාමන කෙරේ. එහෙත් ඔවුන් බොහොමයකට බලය අහිමි වූ විට බලය ජනතාවාදීව පරිශීලනය කිරීම පිළිබඳ ව බුද්ධිය පහළ වීම සාමාන්‍ය සුලබ සිද්ධියකි.

 

එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තාර්කික නායකයකු ලෙස සිය රාජ්‍ය බලයෙන් වසර 2 ක් ගිය තැන ප්‍රසිද්ධියේ ම ස්වයං විවේචනයක යෙදීමට තරම් අනතිමානී වී තිබේ. ඒ වූ කලී සාමාන්‍යයෙන් නායකයකු තුළ දක්නට නොලැබෙන දුර්ලභ ගුණාංගයකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රාජ්‍ය පාලනය සඳහා තවත් වසර 3 ක කාලයක් ඉතිරි ව තිබේ. සිය පළමු ජනවරමෙන් වසර 2 ක කාලයක් ඔහුට වැය වී ඇත්තේ ලොවම වෙලා ගත් කොවිඩ් 19 අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ය. නිහඩවම සහ හුදෙකලාවම ජනාධිපතිවරයා කොවිඩ් උවදුර පිටුදැකීමට ඇති සාර්ථකම සහ විද්‍යාත්මකම ක්‍රමවේදය වන එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කළේය. කොවිඩ් උවදුරට එරෙහි අති සාර්ථක එන්නත්කරණය කාර්යක්ෂම ව සිදු කළ ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පත් වන්නේ ජනාධිපතිවරයාගේ නිරවුල් දැක්ම සහ නිවැරැදි නායකත්වය හේතුවෙනි.

කොවිඩ් කළමනාකරණය

කොවිඩ් අර්බුදය කළමනාකරණය කිරීමේ දී සමාජ, ආර්ථික, සංරචක තුළනාත්මකව කළමනාකරණය නොවු බව සැබෑ ය. එහෙත් එම තත්ත්වය ගෝලීය කොවිඩ් 19 අර්බුදය මත පටවා වගකීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයා සූදානම් නැති බව තහවුරු වන්නේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් කරන ලද කතාව නිවැරැදිව විශ්ලේෂණය කරන විටදී ය.

2019 ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක ජනතාව ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්නේ එක නීතියක් එක රටක් යටතේ දුෂණයෙන් තොර නිවැරැදි රාජ්‍ය පාලනයක් උදෙසාය. එම කටයුත්තේ වැදගත් ම ප්‍රතිසංස්කරණය නම් පවතින ව්‍යවස්ථාව පරිච්චින්න කොට නව දේශජ ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමය. ඉදිරි වසරේ දී එම කටයුත්ත සිදු කරන බවට ජනාධිපතිවරයා දැන් ප්‍රතිඥා දී තිබේ. එලෙසම සිදු වූ වැරැදි අඩුපාඩු සකසා ගනිමින් හැටනව ලක්ෂයක බලාපොරොත්තු හා අපේක්ෂා පමණක් නොවන දෙකෝටියක් පුරවැසියන්ගේ ජීවන අපේක්ෂාවන් තහවුරු කරන බවට ද ජනාධිපතිවරයා සහතික වී තිබේ.

බලය අහිමි වීමෙන් අනතුරුව සිත් වේදනාවෙන් කරන පාපෝච්චාරණයකට වඩා බලය සුරක්ෂිත ව ඇති මොහොතක සිය ගමන් මඟ නිවැරැදි කර ගැනීමට අධිෂ්ඨාන කර ගැනීම අතිශය දුර්ලභ නායකත්ව ගුණාංගයකි.

මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකගේ සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා ශ්‍රී ලංකා ඉතිහාසයේ බලයේ සිටි කිසිදු නායකයකු බලයෙන් ආඪ්‍යව සිටි කිසි අවස්ථාවක තම දේශපාලන ගමන් මඟ දෙස ආපසු හැරී බැලුවේ නැත. තමා ඉතා නිවැරැදි මාවතක ගමන් කරන බව ඒ නායකයෝ සිතා සි‍ටියහ. ජනමතය උරගා බලන මැතිවරණයක දී ජනතාව ඒ නායකයන්ටත්, ඔවුන්ගේ දේශපාලන පක්ෂවලටත් නිසි පාඩම් ඉගැන්වූ විට තමන් අතින් වරදක් වූ බව ඒ නායකයෝ පිළිගත්හ. එහෙත් ඵලක් නැත, ඔවුන් වරද පිළිගන්නා විට ජනතාව ඔවුන් සිහසුන්වලින් පලවා හැර අවසන් ය.

දෙවසරක අඩුපාඩු

ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන ආදි වශයෙන් වූ මේ නායකයන් බොහොමයකට බලය හිමි මොහොතේ වැරැදි අඩුපාඩු පිළිබඳ ව සිතා බලන්නට සිතුණු බවක් හෝ ඔවුන්ට ඒ සඳහා වේලාවක් හෝ නොතිබුණු බව නම් පැහැදිලි ය. බලය අහිමි ව විපක්ෂයට ගිය කල්හි මේ බොහොමයක් නායකයෝ බලය තිබෙන අවස්ථාවේ තමන් අතින් සහ තම ආණ්ඩු වෙතින් ජනතාවට අඩුපාඩු වූ බවට පාපොච්චාරණය කළහ. එහෙත් ඉන් ඇති පලක් නොමැත. ඒ ප්‍රකාශ කරන විට සියල්ල සිදු වී හමාරය. එවිට මෙවැනි ස්වයං විවේචනවලින් ද පලක් නොමැත. මන්ද, ඔවුන්ට එවිට බලය අහිමි වී ගොස් ඇති බැවිනි. එමනිසා යම් නායකයකු හෝ ආණ්ඩුවක් තම නායකත්වය හෝ තම ආණ්ඩුව පිළිබඳ ව ස්වයං විවේචනයක නිරත විය යුත්තේ රාජ්‍ය බලයත් සමඟය.

ඒ අර්ථයෙන් ගත් කල්හි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශිෂ්ටය. ඔහු ස්වයං විවේචනය කරන්නේ රාජ්‍ය බලය හා ශක්තිමත් ආණ්ඩු බලයක් සහිතව ය. ගෙවී ගිය දෙවසර අඩුපාඩු සහිත ය. කොවිඩ් උවදුර රටට පමණක් නොව සමස්ත ලෝකයට ම ව්‍යසනයකි. එහෙත් සියල්ල කොවිඩ් ගිණුමට බැර කොට අත සෝදා ගැනීමට ද නොහැකිය. ගෙවී ගිය දෙවසර තුළ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු කටයුතු කළ ආකාරය සතුටු විය හැකි ද? අමාත්‍යංශය ලේකම්වරු, ආයතන ප්‍රධානීන් මේ සියල්ලටම තම වගකීම්වලින් අත්මිදීමට නොහැකිය. ආණ්ඩුව යනු ජනාධිපතිවරයාගේ සිට මේ සැමගේ සාමූහික එකතුවකි. ජනාධිපතිවරයා හා ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය දුන් හැටනව ලක්ෂයේ පමණක් නොව සමස්. ශ්‍රි ලාංකේය ජනතාවගේ ම වගකීම මේ සියලු දෙනා වෙතම පැවරී තිබේ.

අඩුපාඩු, දුර්වලතා ඇති වීම හෝ සිදු වීම ස්වභාවිකය. වඩා වැදගත් වන්නේ ඒ වැරැදි අඩුපාඩු නිවැරැදිව අවබෝධ කර ගනිමින් හා ඒවා නිවැරැදි කර ගනිමින් ගමන යෑමය. කුණු වූ මජර දේශපාලන සංස්කෘතියෙන් බැහැර ව වෘත්තීයවේදියකු ලෙස දේශපාලන ගමනක් ඇරැඹි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ස්වකීය දෙවසරක පාලනය පිළිබඳ ව ස්වයං විවේචනයක යෙදීම ආණ්ඩුවේ මැති ඇමැතීන්ගේ ඇස් ඇරවීමකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලනයට ආධුනික බව සැබෑ ය. ශ්‍රී ලංකාවේ කුණු වී දුගඳ හමන දේශපාලන සංස්කෘතියට වෘත්තීයභාවය භෞතිස්ම කළේ ඔහු ය. නිදහසින් පසු දේශපාලකයකු නොවන වෘත්තීයවේදියකු ලෙස රාජ්‍ය නායකත්වයට පත් එකම පුද්ගලයා ද ගෝඨාභය රාජපක්ෂ මහතා ය. එය ශ්‍රී ලාංකීය දේශපාලනයේ නැවුම් හැරවුම් ලක්ෂයකි. දේශපාලන මජර වළේ නළියන තවත් දේශපාලන සත්ත්වයන්ට එහි බඩ පිනුම් ගැසීමේ අවස්ථාව අවසන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ය. ශ්‍රී ලාංකීය දේශපාලන සංස්කෘතිය දියුණු වෘත්තීය දේශපාලන සංස්කෘතියකට ඔසවා තැබු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය රාජ්‍ය පාලනයෙන් දෙවසරක කාලයේ දී සිදුකළා වූ ස්වයං විවේචනය මේ රට තවත් වැදගත් සංධිස්ථානයකට ප්‍රවිශ්ට කළ බව පැහැදිලි ය. ඉදිරි තෙවසරක කාලය ජනතාවාදී ගමන් මඟකට රට ප්‍රවේශ කරලීම උදෙසා ජනාධිපතිවරයාට සහය දීම සියලු මැති ඇමැති කාරකාදීන්ගේ වගකීමකි.