- පළමු අදියර 2022 ජනවාරි
- දෙවැනි අදියර 2023 ජනවාරි

ගුරු - විදුහල්පති වැටුප් විසමතාවට අදියර දෙකක් යටතේ විසඳුම් දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම වෘත්තීය සංගම් නියෝජිතයන් හමුවේ ඊයේ (12) පස්වරුවේ එකඟතාව පළ කළේය.

ගුරු - විදුහල්පති වැටුප් විසමතා ඉවත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය - වැය මඟින්ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මඟින් එම වසරේදීද ලබා දීමට මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය.

වැටුප් විසමතා ඉවත් කරන්නැයි ඉල්ලා දින 93ක් පුරා අරගලයක නිරතව සිටින ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතවරු අරලියගහ මන්දිරයට ඊයේ (12) කැඳවා අගමැතිවරයා මේ විසඳුම් යෝජනා ඉදිරිපත් කළේය.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳ ආණ්ඩුව සංවේදි වන බවත් වැටුප් විසමතා ඉවත් කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අගමැතිවරයා එම නියෝජිතවරුන් හමුවේ පැවසීය.

කොවිඩ් -19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමා වීම නිසා එකවර මේ ඉල්ලීම් දීමට නොහැකියි. දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කර ගෙන යෑමේ අවශ්‍යතාව මත අණ්ඩුව මේ විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අගමැතිවරයා මෙහිදී පැවසීය.

 

2021. 08. 09 දිනැති ඇමැති මණ්ඩල තීරණය මඟින් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ඇමැති මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 6ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද මේ හමුවට වැඩම කළහ.

ගුරු - විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ යලේවෙල පඤ්ඤාසේකර හිමි, ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද හිමි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ උලපනේ සුමංගල හිමි, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, සමස්ත ලංකා ගුරු උපදේශක සංගමයේ පී. එම්. සමරකෝන්, සමස්ත ලංකා රජයේ ක්‍රියාකාරි විදුහල්පති සංගමයේ සිසිර කුමාර රත්නායක, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව් ඒ වීරකොඩි, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශෙහාන් දිසානායක, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ දිවානි හෙට්ටිගේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදි ගුරු සංගමයේ එස්. බාලසේගරම් මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් මේ හමුවට එක් වූහ.

ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්තද සිල්වා, අගමැති ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අගමැති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්. පී. එම්. රත්නායක සහ ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහත්වරුන් ඇතුළු රජයේ නියෝජිත පිරිසක්ද ඊට එක්ව සිටියහ.