තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට එක්විය. එහිදී එතුමා විසින් ප්‍රකාශ කර සිටියේ වරාය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරය සකස් කිරීමට රජයේ සහාය ලබාදෙන බවයි.

වරාය තුළ ඇති කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලැස්ම ලෙස ‘HIP Speed’ දැන් යොදා ගැනීමත් සමඟ විදේශ ආයෝඡන මෙරටට ආකර්ෂණය කරගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා වරාය මෙහෙයුම් හා සංවර්ධනයේ වැදගත් කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

සැප්තැම්බර් මාසය වන විට හම්බන්තොට වරායේ සමස්ත ප්‍රතිදානය (Throughput) ටොන් මිලියන 1.7 ක් වූ අතර එය 2020 වසරේ සමස්ත ප්‍රතිදානයට ආසන්න වේ. එසේම මෙම සාකච්ඡාවේ දී වරාය සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරි පියවරයන් ලෙස 2021 වර්ෂයේදී HIP සාර්ථකව ‘plug and play’ (පිරිනිමි), ‘Park in Park’ (කලාපයක් තුළ කලාපයක්) නිෂ්පාදන කම්හල් ජාලයක් සහ නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් වරාය තුළ පිහිටුවීමට ගිවිසුම් ගත වීම, HIPGහි වරාය ආයෝජන සේවා කණ්ඩායම දැනට අනාගත ව්‍යාපෘති සඳහා චීනයේ ආයෝජකයින් සමඟ සාකච්ඡා පැවැත්වීම යන සාධනීය පියවර අනුගමනය කරන බවත් හෙළිවිය.


මෙම සාකච්ඡාවේ දී වරාය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරය සකස් කිරීම සඳහා රජයේ සහාය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා, නිලධාරීන් සමග වරාය මෙහෙයුම් හා සංවර්ධනයේ වැදගත් කරුණු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු සහ HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරි පිරිසක් සහභාගී වූහ.