කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම අඩු වීමත් සමඟ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් ප්‍රතිකාර කටයුතුවලින් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 278ක් ක්‍රියාත්මක වූ අතර එම සංඛ්‍යාව මේ වන විට 248ක් දක්වා අඩු කර ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ඇඳන් 34,007න් ඇඳන් 19,660ක් මේ වන විට හිස්ව ඇතැයි ද, කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කළ දැඩි සත්කාර ඒකක ඇඳන්වලින් සියයට 40ක් පමණ හිස්ව ඇතැයි ද හෙතෙම කීය.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමත් සමඟ එම අඩු වීම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථාන ද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම මේ වන විට 1000කට අඩු වීමත් සමඟ ශ්‍රී ලංකාව රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණ ඇති අතර එය ආරක්ෂා කර ගැනීමට ජනතාවගේ වගකීමක් බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් ආසාදිතයන්ගේ වාර්තා වීම තවදුරටත් අඩු කර ගත හැකි බවත් ඒ මහතා කීය.

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම අඩු කර ගැනීම අභියෝගයක් බවත් එම අභියෝගය මේ වන විට ළඟා කර ගෙන ඇති අතර පුද්ගල වගකීම පෙරදැරි කරගෙන මෙම ඉලක්කය ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.