දින සියයකට කිට්ටු කාලයක් ඔන්ලයින් ක්‍රමය මඟින් හෝ ඉගෙනුම් කටයුතු සිදු වූයේ නැත. ගුරුවරුන් වැඩ වර්ජනයක නියැළීම එයට හේතුවක් විය. ගුරු වර්ජනය සාධාරණ බව කීමට පිරිසක් සිටිති. එය නොකළ යුත්තක් බව තවත් පිරිසක් කියති. එය අප වෙනම සාකච්ඡා කළ යුතු දෙයකි. එහෙත් දරුවනට සහ මාපියනට වැදගත් වන්නේ පාසල්වල ඉගෙනුම් කටයුතු නැවත ආරම්භ කිරීමය. ඉතිහාසයේ මෙතරම් කාලයක් පාසල් වසා තිබූ කාලයක් නොතිබුණි. 88-89 මහා භීෂණ කාලයේ පවා පාසල් වසා තිබුණේ මාස තුනකි. උතුරේ යුද්ධය නිසා වුව ද පාසල් එතරම් කාලයක් වසා තිබුණේ නැත. එහෙත් මෙවර එසේ නොවේ.

පාසල් නැවත ඇරඹෙන්නේ දිගු කලකට පසුවය. දිවයින පුරා සියලු පාසල් එකවර සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියාත්මක වූයේ පසු ගිය අවුරුද්දේ මාර්තු මාසයේ මුල් කාලයේය. ඉන් පසු පාසල් නැවත ඇ‍රැඹෙන්නේ ජූලි මාසයේදීය. එහිදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ නොවූ අතර පිට පළාත් පාසල් විවෘත විය. ඉන් පසු ඔක්තෝබර් මාසයට පෙර බස්නාහිර පාසල් ද ඇරැඹිණි. එහෙත් නැවත මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පැතිර යාමත් සමඟ පාසල් නැවත වසා දැමීමට සිදු විය. ඉන් අනතුරුව නැවත ජනවාරි මාසයේ පාසල් ඇරඹුණ ද එය ද ඉතා කෙටි කලකටය. නැවත උග්‍ර වූ වසංගතය හේතුවෙන් සමස්ත පාසල් පද්ධතියම අකර්මණ්‍ය විය. ඒ අනුව ගත් කල මෙරට පාසල් පද්ධතිය අවුරුදු එක හමාරකින් නිසි ලෙස ක්‍රියාත්මක වී නැත. ලෝකයේ කොවිඩ් වසංගතය පැතිර ගිය රටවල් අතර වැඩිම කාලයක් පාසල් වසා දමා ඇති රටවල් අතරට මෙරට ද එක්ව තිබේ.

සැබවින්ම අප වැනි රටකට ලෝකයේ පෙරට යා හැකි මාර්ගය වැටී ඇත්තේ අධ්‍යාපනය හරහාය.

අප රටේ ඉහළ තැන්වල සිටින අය පමණක් නොව ලෝකය පුරා විසිර සිටින ලාංකික වියතුන් ඒ තැන්වලට පිවිස සිටින්නේ මෙරට නිදහස් අධ්‍යාපනය නිසාය. එබැවින් අපේ වර්තමාන දරු පරපුට ද නිදහසේ ඉගෙනීමට ඉඩ ලබා දිය යුතුය. පසුගිය අවුරුදු එකහමාර තුළ අප දරු, දැරියනට ඒ ඉඩකඩ ලැබුණේ ඉතාමත් සීමිතවය. මාර්ගගත හෙවත් ඔන්ලයින් ඔස්සේ පාසල් දේශන සැසි පැවැත්වුණ ද ඒවා එතරම් සාර්ථක ඒවා නොවීය. සෑම දරුවකුටම ඒ පහසුව සමානව නොලැබුණි. භූගෝලීය, ආර්ථික හා සමාජ තත්ත්වය අනුව ඔන්ලයින් ඉගෙනුමට එල්ල වූ අභියෝග වෙනස් විය.එහෙත් මේ ඔන්ලයින් ක්‍රමය තව දුරටත් මෙරට තුළ ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික දෙයක් නොවේ. එමඟින් සැමට සමාන ඉඩක් නොලැබෙන බව පැහැදිලිය. එනිසා කළ යුතු පළමු කාර්ය විය යුත්තේ අසාර්ථක ඔන්ලයින් ක්‍රමය ප්‍රවර්ධනය කිරීම නොවේ. පාසල් පද්ධතිය නිසි සුව ක්‍රම සහ එන්නත්කරණ පිළිවෙත්වලට යටත්ව ක්‍රියාත්මක කිරීමය. ඒ සදහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කළ යුතුය.

ගුරු වර්ජනය

එහෙත් දැනටමත් දින සියයකට කිට්ටු කාලයක් ඔන්ලයින් ක්‍රමය මඟින් හෝ ඉගෙනුම් කටයුතු සිදු වූයේ නැත. ගුරුවරුන් වැඩ වර්ජනයක නියැළීම එයට හේතුවක් විය. ගුරු වර්ජනය සාධාරණ බව කීමට පිරිසක් සිටිති. එය නොකළ යුත්තක් බව තවත් පිරිසක් කියති. එය අප වෙනම සාකච්ඡා කළ යුතු දෙයකි. එහෙත් දරුවනට සහ මාපියනට වැදගත් වන්නේ පාසල්වල ඉගෙනුම් කටයුතු නැවත ආරම්භ කිරීමය. ඉතිහාසයේ මෙතරම් කාලයක් පාසල් වසා තිබූ කාලයක් නොතිබුණි. 88-89 මහා භීෂණ කාලයේ පවා පාසල් වසා තිබුණේ මාස තුනකි. උතුරේ යුද්ධය නිසා වුව ද පාසල් එතරම් කාලයක් වසා තිබුණේ නැත. එහෙත් මෙවර එසේ නොවේ. 2020 වසරේ පළමු ශ්‍රේණියේ සිටි දරුවා ඊළඟ වසරේ පිවිසෙන්නේ තුන් වැනි ශ්‍රේණියටය. ඒ දරුවාගේ ඉගෙනුම් කටයුතු කෙරුණේ මාර්ගගතවය. මාර්ගගත ක්‍රමය සාමාන්‍ය පාසල් ඉගෙනුම් ක්‍රියාවලිය හා සසඳන විට අඩක්වත් සාර්ථක නැත. මාර්ගගත ඉගෙනුමේදී බාහිර ක්‍රියාකාරකම් කිසිවක් සිදු නොවේ. එනිසා හොඳම ක්‍රමය හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීමය. ඒ සඳහා සෑම පාර්ශ්වයක්ම දරුවන් වෙනුවෙන් අඩියක් පස්සට ගත්තාට කමක් නැත.

 

එනිසා අද මූලික විය යුත්තේ ඉගෙනුම ඇරැඹිය යුත්තේ කෙසේද යන්න සලකා බැලීමටය. මේ මොහොතේ වැදගත් වන්නේ ජයග්‍රාහකයා කවුද යන්න නොව ජයග්‍රහණය කළ යුත්තේ කවුද යන්නය. සේවා ගැටලු, වැටුප් ප්‍රශ්න තිබේ. එය ආණ්ඩුව ද පිළිගෙන තිබේ. එම ඉල්ලීම් ලබාදෙන කාලය සහ ප්‍රතිශත ගැන ගැටලු ඇතත් මේ ඉල්ලීම් ආණ්ඩුව බැහැර කර නැත. අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී පවා ඒ ගැන අවධානය යොමු කර තිබේ. මේ වාතාවරණය මත වර්ජනයට මූලික වූ කරුණු විසඳීමට රජය කැමැත්ත පළ කර තිබේ. ගුරු සංගම් ද තම ඉල්ලීම් දිනා ගැනීමේ ස්ථාවරය වෙනස් නොකර නැවත සේවයට වාර්තා කිරීමට තීරණය කර තිබේ. දැන් යම් එකඟතාවක් දරුවන් නිසා ඇතිව තිබේ. එනිසා මේ මොහොතේ දුර නොබලන ඇතැම්හු විවිධ ප්‍රකාශ සිදු කරති. එයින් යළිත් අමාරුවේ වැටෙන්නේ අපේ දූ දරුවන් ය. එය ද හොඳින් සිහියේ තබා ගත යුතුය.

දරු පරපුර

මේ සියලු කරුණු සලකා බලා දැනට මූලික අදියර ලෙස මුලින්ම සිසුන් දෙසීයට අඩු පාසල් අරඹා තිබේ. සිසුන් දෙසීයට වැඩි පාසල් ප්‍රමාණය මෙරට පාසල්වලින් සියයට දහයකි. ඉන්පසු ඊළඟ අදියරේ පාසල් ඇ‍රැඹීමට නියමිත අතර, එය දිගු කාල පරතරයකින් තොරව සිදු කිරීමට නියමිතය. එය ආරම්භයක් ලෙස සුබදායකය. දැන් කළ යුතුව ඇත්තේ කඩිනමින් විෂය නිර්දේශ ආවරණය කිරීමය. රජයේ වගකීම වන්නේ ගුරු ඉල්ලීම් ගැන අවධානය යොමු කිරීමය. ඔවුනට ලබා දිය හැකි උපරිම දේ ලබා දීමය. මෙහිදී ගුරු සංගම් ද එක දෙයක් තේරුම් ගත යුතුය. එනම් රටේ ආර්ථික තත්ත්වය තේරුම් ගෙන මස් රාත්තලම ඉල්ලන ප්‍රතිපත්තියෙන් බැහැර වීමය. වරායේ කම්කරු වර්ජනයකට හෝ විදුලිබල මණ්ඩලයේ සේවක වර්ජනයකට වඩා ගුරු වර්ජනයකට වෙනත් මුහුණුවරක් ඇත.මෙවැනි වර්ජන නිසා අපේ අනාගතය වන දරු පරපුර අගාධයකට වැටේ. එබැවින් එවැනි දෙයක් විසඳා ගත යුත්තේ සීරු මාරුවටය. එය එසේ නොවුණහොත් රටම අමාරුවේය. ගැටුම් හැලහැප්පීම් වෙනුවට එකඟතාවය සංවාදයේ පෙරට ගත යුතුය. එමඟින් මෙවැනි සංකීර්ණ ප්‍රශ්න නිරාවරණය කර ගැනීම පහසුය. 

එනිසා දැන් කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමය. ඒ ගැන අප සැම මැදහත්ව සිතා කටයුතු කළ යුතුය. එයට හේතුව, අන් දෙයක් නොව දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සෑම දෙයකටම වඩා වැදගත් බැවිනි. අයිතීන් දිනා ගැනීමේ වරදක් නැත. ඒ සඳහා ඇති අයිතිය අපට පිළිගත හැකිය. අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇති පරිදි ගුරුවරුන්ට හිමි වැටුප් ඉහළ යෑම් ලබා දීමට ආණ්ඩුව සූදානම්ය. එනිසා තව දුරටත් වර්ජනය යන බර අවිය ඔසවමින් දරුවන්ගේ ඉගෙනුමට විලංගු දැමීමට ගුරු සමිති උත්සාහ නොකළ යුතුය. ඒ යථාර්ථය ගුරු සමිති විසින් ද වටහාගෙන ඇති ආකාරයක් ඔවුන් මේ දිනවල ගන්නා ක්‍රියමාර්ග අනුව වටහා ගත හැකිය. උද්ගතව ඇතිව ඇති වාතාවරණය තුළ ආණ්ඩුව ද ගුරුවරුනට සහනයක් ලබා දීම කළ යුතුය. ඒ ගැන අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද අවධානය යොමුව ඇති අතර, අයවැය යෝජනාවලින් ඊට පිළියම් යොදන බව සඳහන්ය.

එසේම ගුරු වර්ජනය නිසා ඉගෙනුම් කටයුතු අතපසු වීම ගැන සලකා බලා කටයුතු කළ යුතුය. එහිදී රජය පාර්ශ්වයෙන් ද එක් දෙයක් සැලකිල්ලට ගත යුතුව තිබේ. එනම් නැවත ඇතිවන හදිසි තත්ත්වයකදී වුව ද අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. ඔන්ලයින් ඉගෙනුමට අදාළ පසුබිම සකස් කිරීම එහි ප්‍රධාන අංගයක් විය යුතුය. එසේ වීම තුළ අනාගතයේ අධ්‍යාපනය වඩාත් දියුණු තලයකට ගෙන යා හැකිය. අප රටේ අධ්‍යාපනය නූතනයට ගැළපෙන ලෙස දියුණු විය යුතුය. එහි විවාදයක් නැත. ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ටද වගකීමක් තිබේ. ආණ්ඩුවට ද වගකීමක් තිබේ. මාපියන්ට ද ඒ හා සමාන වගකීමක් තිබේ. එනිසා අයිතීන් ලබා දෙමින් අයිතීන් දිනා ගනිමින් කටයුතු කරනවා මෙන්ම ඉගෙනුම ලබන දරුවන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. දිගු කාලයකට පසු ඇ‍රැඹෙන පාසල් අධ්‍යාපනය සාර්ථක කර ගත හැක්කේ එවිටය.