දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට එක් වෙමින් ජනපති කියයි

  • අප සිටින්නේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකයි:
  • දේශගුණික විපර්යාසයන්ට අප කඩිනමින් විසඳුම් සෙවිය යුතුයි:

කෘතිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් හෙයින් සෞඛ්‍ය ගැටලු විසඳා ගැනීමට මෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමටද හේතු වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සංවාදයට ඊයේ (27) එක්වෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) විසින් කැඳවා තිබු “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් : දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම” මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (27) පැවැත්විණි.

තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ්‍රි ලංකාව උත්සාහ කරන බවත් ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව, තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමා සහතික වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමඟ පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව රාජපක්ෂ මහතා කීය.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූහ.

 

දේශගුණික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කරලීමට රාජ්‍යයන්ට ඇති හැකියාවන් කොවිඩ් -19 වසංගතය විසින් යටපත් කර ඇති අවස්ථාවක පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාකාරී සැලැස්මක්” ඉදිරිපත් කිරීමට සභාපතිවරයා විසින් මේ ඉහළ මට්ටමේ සංවාදය කැඳවා තිබිණි.

සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කිරීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීමට අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බව ද කියා සිටියේය.

අද අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකයි.

ඒ නිසාම දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසඳුම් සෙවිය යුතුයි. අන්තර්ජාතික වශයෙන්, ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම - නායකයකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ද ශ්‍රී ලංකාව නායකත්වය සපයන බව සඳහන් කළේය.