නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය ලබන 12 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ස්පාඤ්ඤ උණ වංසගතයෙන් සියවසකට පමණ පසු සමස්ත ලෝකයම මුහුණ දෙන දරුණුතම වසංගතය වන්නේ කොවිඩ් 19 උවදුරයි. සමස්ත ලෝක ප්‍රජාවම කොවිඩ් 19 වසංගතයට ගොදුරුව ඇත. දුප්පත්, පොහොසත් භේදයෙන් තොර ව සමස්ත ලෝකයම කොවිඩ් 19 වසංගතයෙන් බැටකා ඇත. සමස්ත ලෝකයම මේ වසංගතය නිසා දැඩි සමාජ, ආර්ථික ගැටලුවලට සහ අර්බුදවලට මුහුණ දී තිබේ. ලෝකයේ ඉතා ඉහළ ආර්ථික ශක්තීන් ඇති රටවල් ද බරපතළ ආර්ථික අර්බුදවලට මුහුණ පා තිබෙන අතර භාණ්ඩ නිෂ්පාදනය, හුවමාරුව හා බෙදා හැරීම යන කටයුතු කොවිඩ් 19 උවදුර හේතුවෙන් ව්‍යාකූලත්වයට පත් වී ඇත.

කුඩා ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොවිඩ් උවඳුර හේතුවෙන් විශාල අර්බුදයකට තල්ලු වී තිබෙන වටපිටාවක 2022 වර්ෂය සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

නිදහසින් පසු වැඩිම අයවැය ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා වන්නේ රොනී ද මෙල් මහතා යි. ඔහු විසින් තබා ඇති එම වාර්තාව සම කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. රොනී ද මෙල් මහතා අයවැය ලේඛන 11 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර 2005 සිට 2015 දක්වා ජනාධිපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ද මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය ලේඛන 11ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

අයවැය ආශ්චර්යයක් නොවේ

මෙවර පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කනිටු සොයුරු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යි. 2022 අයවැය යනු ආශ්චර්යයක් නොවන බව තේරුම් ගත යුතුය. නිදහසින් පසු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදකාරි වාතාවරණයක් හමුවේ 2022 අයවැය ඉදිරිපත් කිරීමට නියමිත ය. ගෝලීය කොවිඩ් අර්බුදය, ගෝලීය ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වී තිබෙන පසුගාමී තත්ත්වය යන උපද්‍රව 03 ක් පෙරටුව 2022 අයවැය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මතු සඳහන් ත්‍රිවිධ අර්බුද හමුවේ 2022 අයවැය යනු ප්‍රතිහාර්යයක් නොවන සමස්ත ආර්ථික දේහයම පරිවර්තනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යටිතලයන් නිර්මාණය කරන පාදක ව්‍යුහමය පහසුකම් වලින් සපිරි අයවැයක් වනු ඇතැයි පුරෝකතනය කළ හැකිය. ඒ වනා හී දිගු කාලීනව ශක්තිමත් ආර්ථික දේහයක් ගොඩනැඟීමට අවශ්‍ය පදනම සකස් කරන අයවැයක් ලෙස මෙවර අයවැය හඳුනා ගැනීමට හැකි නම් වඩා යහපත් ය.

2020 වසරේ ආර්ථික වර්ධන වේගය 3.6%කින් පසුබෑමකට ලක් වී තිබේ. කොව්ඩ 19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කොට 2020 මාර්තු 17 වෙනිදා සිට මේ දක්වා විටින් විට සංචරණ සීමාවන් ක්‍රියාත්මක විය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද සංචරණය සීමා විය. එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට ප්‍රබල බලපෑමක් එල්ල කළ බව නෙකියමනාය. 2009 පෙර 5%කට අඩුවෙන් පැවති ශ්‍රී ලංකාවේ සේවා වියුක්තිය මේ වන විට ඉහළ ගොස් තිබේ. කොවිඩ් 19 වසංගතය ස්වයං රැකියා අවස්ථා සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි කර ඇත.

කොවිඩ් උවදුරේ සෘජු බලපෑම

2021 වර්ෂය සදහා 5%ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළත් මෙම වසරේ ද වැඩි කාලයක් සංචරණ සීමා පැනවීම හා රට අගුළු දෑමීම ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය ළඟා කර ගත නොහැකිව තිබේ. 2019 දී ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 3852 ක් වුව ද එය 2020 දී අමෙරිකානු ඩොලර් 3682ක් දක්වා පහළ ගොස් ඇත්තේ කොවිඩ් උවදුරේ සෘජු බලපෑම නිසා බව ඉතා පැහැදිලිය.

 

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට හමුවේ තැබු ප්‍රකාශනය රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ දැන් රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත. ඊට හැටනව ලක්ෂයකගේ ජනවරමක් හිමි විය. කොවිඩ් 19 ගෝලීය අර්බුදය නිර්මාණය වීමට ප්‍රථම ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය රට හමුවේ තැබුවත්, අද එය යථාර්ථයක් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට සිදු වී ඇත්තේ ගෝලීය කොවිඩ් අර්බුදය, ගෝලීය ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය යන ප්‍රධාන අභියෝග 3 ක් හමුවේය. ඒ අනුව 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටි කාලීන ප්‍රතිලාභවලින් ඔබ්බට ගියා වූ රටේ ආර්ථිකය යළි සකස් කරන නිවැරැදි ආර්ථික විද්‍යාත්මක ලේඛනයක් විය යුතුම ය.

අයවැය යනු හුදු සහන විජ්ජාවන්ගෙන් පිරුණු ලේඛනයකට වඩා රටේ ආර්ථික ගමන්මඟෙ නිවැරැදි දිශානතිය පෙන්නුම් කරන විද්‍යාත්මක හා තාර්කික පදනමක් සහිත ඉදිරිපත් කිරීමක් වන්නේ නම් වඩා වැදගත් ය. දේශීය නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වන අතරම හැකි තාක් නිෂ්පාදනය දිරිගන්වන වැඩපිළිවෙළක් ඒ තුළ අන්තර්ගත වීම සාධනීය ගුණාංගයකි. වාර්ෂික ව රටින් පිටතට අනවශ්‍ය ආනයන සඳහා ඇදී යන ඩොලර් සංචිත රට තුළ රඳවා ගැනීමටත් එම ආනයන වෙනුවට රට තුළම අදේශන නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමත් අත්‍යවශ්‍ය කාරණයකි. ආහාරපාන සහ වෙනත් අවශ්‍යතා සඳහා සිදු කරන අත්‍යාවශ්‍ය නොවන ආනයන අධෛර්යවත් කරන්නා සේම, දේශීය නිෂ්පාදන අපනයනය සඳහා දිරිගැන්වීම ද අත්‍යවශ්‍ය වී තිබේ.

සාපේක්ෂතා වාසි න්‍යාය

අන්තර්ජාතික වෙළෙඳ කටයුතුවලදී සාපේක්ෂතා වාසි න්‍යාය උපයෝගි කර ගැනීමත් රටට වාසිදායක වන ආයෝජන දිරිගැන්වීමත් කළ යුතු කාරණයකි. හුදු ජාතිකවාදී සටන් පාඨ දේශපාලන චින්තාවන් මහජන ගැලරිය පිනවීමට ඉවහල් වුවත්, රටක තිරසර ආර්ථක වර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ සටන් පාඨ දේශපාලනය නොව ආයෝජන රට වෙත අද්දා ගැනීමට ඉවහල් වන්නා වූ සාමකාමී ආයෝජන සඳහා හිතකර දේශපාලන වටපිටාවකි. ජාතික සම්පත් විකුණා දැමීම හෝ ජාතික සම්පත් විජාතිකකරණය කළ යුතුය යනු මෙහි අදහස නොවේ. රටක ආර්ථිකය වර්ධනයට ඉවහල් වන අන්තර්ජාතික ආයෝජන අධෛර්ය නොකිරීමත් අවාසි සහගත අන්තර්ජාතික ආයෝජන ක්‍රියාවලි රටට වාසිදායක වන පරිදි උපායමාර්ගිකව කළමනාකරණය කර ගැනීමත් අවශ්‍ය වන්නේ ය.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් ය. අපේ රටේ නාස්තිය, වංචාව සහ දුෂණය යනු සාමාන්‍යකරණය වූ පොදු සංසිද්ධීන් වී තිබේ. සංවර්ධනය සඳහා ලැබෙන ප්‍රදාන, ආධාර හා සහන ආදියෙන් ගසා කන දූෂිත නිල තන්ත්‍රවාදය හා සබැඳි ක්‍රියාවලීන් පිළිබඳ ව බොහෝ අවස්ථාවල දී අසන්නට දකින්නට ලැබේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය මුල්‍ය ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබඳ ව ඇත්තේ යහපත් චිත්‍රයක් නොවේ. එබැවින් නීතියේ ආධිපත්‍යය ශක්තිමක් කරමින් රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් වන වංචා, දූෂණ හා අක්‍රමිකතා පිටුදැකීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය යනු රාජ්‍ය සේවය කුඩා කිරීම හෝ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා අනෙකුත් මූල්‍යමය ප්‍රතිපාදන කප්පාදු කිරීමක් නොවිය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික සංවර්ධනයෙහි ගාමක බලවේගය ලෙස මෙහෙයවීම සඳහා වන යන්ත්‍රණය ශක්තිමත් කළ යුතුය. එනිසා රාජ්‍ය සේවය යනු මහජනතාව මත යැපෙන නිලධාරී පන්තියක් නොව ජනතා සේවයට කැප වූ වැඩ කරන ශ්‍රම හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කිරීම ඉතාම වැදගත් ය. තවද රටේ ජනතාවට දේශපාලකයන් පිළිබඳ ව ඇති ප්‍රසාදජනක නොවන තත්ත්වය ද තේරුම් ගත යුතුය. මහජන නියෝජිතයන් ජනතාව මත යැපෙන පිරිසක්‍ ය යනු පොදුජන ආකල්පය යි. ජනතාව පීඩාවට පත්ව සිටිය දී දේශපාලකයන් සැප සම්පත් භුක්ති විඳිනවා යනු මහජන ආකල්පය යි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී දේශපාලකයන් සඳහා වන මූල්‍ය වියදම් කළමනාකරණය කිරීමට අවධානය යොමු කරන්නේ නම් ආණ්ඩුවට ජනතා ප්‍රසාදය ලැබිය හැකි ය.

ස්වයංරැකියාලාභීන්, නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්වවලට ඇති වී තිබෙන පසුගාමී ආර්ථික තත්ත්වය යටපත් කරමින් එම ක්ෂේත්‍රවල පිබිදීමකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යය. ශ්‍රම හමුදාවෙන් විශාල පිරිසක් ස්වයං රැකියාකරුවන් වන අතර, නිෂ්පාදකයන් ව්‍යවසායකයන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ද සේවා නියුක්තිය සඳහා වැඩි කොටසකට දායකත්වය සපයනු ලබයි. කොවිඩ් 19 වසංගතය යනු අවම වශයෙන් තවත් වසර කීපයක් සමස්ත ලෝකය පුරාම පැවතිය හැකි වසංගත තත්ත්වයකි. දැන් කැමැති වුවත්, අකමැත්තෙන් වුවත් කොවිඩ් වසංගතය සමඟ නව සාමාන්‍යකරණය වූ ජන ජීවිතයකට අපට පුරුදු පුහුණු වීමට සිදු වී තිබේ. ඒ නිසා කොවිඩ් අර්බුදය හමුවේ පසුගාමී නොවන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට ඉවහල් වන ප්‍රතිසංස්කරණ සහිත අයවැයක් 2022 වර්ෂය සඳහා අවශ්‍ය වී තිබේ. එම අවශ්‍යතාවය සපුරාලීම මුදල් අමාත්‍යවරයාගේ ද, මුදල් අමාත්‍යංශයේ ද සමස්ත ආණ්ඩුවේ ද කාර්යයභාරය වී තිබේ.

පවතින දුර්වල ආර්ථික ශක්තිය 2019 ජනාධිපතිවරණයෙන් සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු බලයට පත් ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ පිළිවෙත නිසා ඇති වූවක් නොවන බව ඇත්ත ඇති සැටියෙන් දකින සියල්ලෝ දන්නා කාරණයකි. මේ වූ කලී කාලාන්තරයක් මුළුල්ලේ නිසි ලෙස කළමනාකරණය නොවූ ආර්ථික ක්‍රියාවලියක පාලනය කළ නොහැකි දුර්විපාකයන් ය. එම තත්ත්වයන් නිවැරැදි කිරීම පවතින ආණ්ඩුවේ වගකීම වන්නේ ය. එම වගකීමෙන් නිදහස් වීමට වත්මන් ආණ්ඩුවට නොහැකිය. මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ වඩා නිවැරැදි හා ශක්තිමත් ආකාරයේ ආර්ථිකය කළමනාකරණය කරන විද්‍යාත්මක ක්‍රමවේදයකි. 2022 අයවැය යනු ව්‍යාකූලත්වයට පත් වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක පළමු පියවර ලෙස සඳහන් කළ හැකිය. රටේ පොදු මහජනතාවගේ අපේක්ෂාව සහන බෙදන විජ්ජාවන්ගෙන් සමන්විත ඇස් බැන්දුම් අයවැයක් නොවේ. ඔවුන් අපේක්ෂා කරන්නේ රටේ ආර්ථිකය නිවැරැදි දිශාවකට යොමු කළ හැකි ප්‍රතිසංස්කරණවාදී අයවැයකි. ආණ්ඩුව ඒ වගකීම නිවැරැදිව ඉටු කරන තුරු අපි අනිමිස ලෝචනයෙන් ඒ දෙස බලා සිටිමු.