රට තුළ කොවිඩ් රෝගීන්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය කායික වෛද්‍ය විශේෂඥ ෂර්මිලා ද සිල්වා මහත්මිය පවසන්නීය.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රැසක ව්‍යාප්ත වී තිබේ. මුව ආවරණ පැළඳීම ඇතුඵ සෞඛ්‍ය පුරුදුවලින් ඈත් වීම රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇත. මුල් එන්නත් දෙක ලබා ගැනීමට ජනතාව තුල විශාල උනන්දුවක් පැවතිය ද බුස්ටර් එන්නත ලබා ගැනීමට ඇතැම්හු මැලිකමක් දක්වති. සමාජයේ පවතින මිත්‍යා මත ඊට හේතුවයි. එවැනි මතවලට නොරැවටී බුස්ටර් එන්නත ලබා ගන්නා ලෙසද ඇය සමස්ත ශ්‍රීි ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින්නීය.

දෙවැනි සහ තුන්වැනි කොවිඩ් රැලිවල දී වැඩියෙන්ම රෝගයට ගොදුරු වුයේ එන්නත් ලබා නොගත් පුද්ගලයින්ය. තරුණ පිරිස් බුස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමු කිරිීමේ අවශ්‍යතාව ද කොළඹ දී පැවති දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගි වෙමින් ඇය අවධාරණය කළාය. බුස්ටර් එන්නත ලබා ගැනීමෙන් රුධිරය කැටි ගැසීමක් සිදු නොවෙයි. බුස්ටර් එන්නත ලබා නොගෙන කොවිඩ් ආසාදනය වුවහොත් රුධිරය කැටි ගැසීම සිදු විය හැකි බවද ඇය සඳහන් කළාය