අදට ගැලපෙන නවීන තාක්ෂණය මුසු වඩාත් කාර්යක්ෂම දියුණු තැපැල් සේවාවක් ජනතාව අතරට ගෙන යෑම සඳහා දැනට පවතින ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 25වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බල වේගය , කොමියුනිස්ට් පක්ෂය , ජනතා සේවක පක්ෂය ආදී දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති නි‍යෝජිතයින් හා ස්වාධීන වෘත්තීය සමිති රැසක නියෝජතයින් මෙම සාකච්ඡාවට සහභාගී වී සිටියහ .

මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වූ අතර තැපැල් ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීම සඳහා පවත්වනු ලැබූ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ පසු කඩිනමින් අදාල බඳවා ගැනීම් සිදු කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා  අවධාරණය කළේය.

පුද්ගලික තැපැල් සේවා මඟින් භාණ්ඩ ගෙන්වීමේ දී මහජනතාවට මුහුණ දීමට සිදුවන අක්‍රමිකතා අවම කර ගැනීම සඳහා නියාමන ආයතනයක් පිහිටුවීමේ ඇති වැදගත්කම මෙහිදී අවධානයට යොමු වූ අතර එ් සඳහා අවශ්‍ය පත්‍රිකා සකස් කර කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම ප්‍රාදේශීය තැපැල් අධිකාරී කොට්ටාසයකටම එක් අයෙක් බැගින් අලුතින් බඳවා ගත් උපාධිධාරීන් අනුයුක්ත කිරීමටත් ඔවුන්ට අලෙවිකරණය පිළිබඳ මනා පුහුණුවක් ලබා දී එමඟින් තැපැල් සේවාවේ ආදායම ඉහළ නැංවීමටත් අපේක්ෂා කරන බව තැපැල්පතිවරයා විසින් අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට , අතිරේක ලේකම් ( පාලන) රුවන් සත්කුමාර, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද එක්වුහ .