ජනමාධ්‍ය ‍අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය සන්නිවේදකයන්ගේ සංගමය අතර හමුවක් පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යංශ ‍ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

මෙහීදී වෘත්තීය මට්ටමින් සන්නිවේදකයින් මෙන්ම මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා විධිමත් අධ්‍යාපනයක් සමඟ පුහුණුවක් ලබා දීමේ වැදගත්කම හා අවශ්‍යතාවය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලදුව  කැබිනට් අනුමැතිය හිමි වූ , මෙරට ප්‍රථම වරට ආරම්භ කිරීමට නියමිත  ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනයේ ක්‍රියාකාරී ව්‍යූහය පිළිබඳව අමාත්‍යවරයා විසින් මෙහිදී සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදි. 

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ තොරතුරු  නිසා ජනතාව අතර ඇතිවන අනවබෝධය තුරන් කිරීමට ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ආකාරය මෙන්ම එය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මෙන්ම අදහස් ප්‍රකාශනයට ඇති අයිතියද සුරකෙමින් ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි .

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය සන්නිවේදකයන් ගේ සංගමයේ සාමාජිකයින් සහභාගී වූහ.