ජාතික සමගිය ගොඩ නැගීමේදී දේශපාලඥයාට වඩා වැඩි කාර්ය භාර්යයක් මාධ්‍යවේදියාට සහ කලාකරුවාට ඉටු කළහැකි බවත් එය ඉතිහාසය විසින් මේ වනවිට සනාථ කර ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය .
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පෙබරවාරි 18 වෙනිදා යාපනය දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කිරීමෙන් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වාර්තාකරුවන් සමඟ පැවති හමුවේ දී.
ආර්ථිකය පිළිබඳ හෝ අධ්‍යාපනය පිළිබඳ හෝ කුමන ආකාරයේ ගැටළුවක් මතු වුවද මෙරට ජාතික සමඟිය වැදගත්ම අංගය විය යුතු බව එම අවස්ථාවට පැමිණ සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වාර්තාකරුවන් අමතමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .
වැඩිදුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ...
" ජාතික සමගිය ගොඩ නැගීමේදී දේශපාලඥයාට වඩා වැඩි කාර්ය භාර්යයක් මාධ්‍යවේදියාට සහ කලාකරුවාට කළ හැකියි . එය ඉතිහාසය විසින් ඔප්පු කරලා තියෙනවා . ප්‍රජාතන්ත්‍රවදී සීමාවන් තුළ විවේචන තියෙන්න පුළුවන් . උද්ඝෝෂණ තියෙන්න පුළුවන් , තර්ක විතර්ක විසංවාද තියෙන්න පුළුවන් . ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ විදිහට හදුන්වන්න පුළුවන්, එය කවදාවත් අපි අතර මිත්‍රත්වයට බාධාවක් කරගන්න එපා . විසංවාදය රටක ඉදිරි ගමනට අවශ්‍යයි . හැබැයි විසංවාදය අවසානයේ එකඟත්වයකට පැමිණිය යුතුයි .
සිංහල භාෂාව මව් භාෂාව කරගත් මාධ්‍යවේදියා දැනගත යුතුයි සහෝදර දෙමළ භාෂාව භාවිත කරන මාධ්‍යවේදියා කොහොමද කල්පනා කරන්නේ කියලා . ඒ සඳහා මාධ්‍යවේදී හුවමාරු වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා . ඒ වගේම ඉතා දියුණු මාධ්‍ය භාවිතයක් තියෙන තැනක් තමයි යාපනය කියන්නේ .ඒ ඇයි කියල දන්නවද , මේ ප්‍රදේශයේ විතරක් ප්‍රාදේශීය මුද්‍රිත මාධ්‍ය පහක් තියෙනවා . මේවගේ තැනක් ලංකාවේ වෙන කොහෙවත් නැහැ . ඒ වගේම භාෂණයේ නිදහස අපි ආරක්ෂා කළ යුතුයි . දැඩි නීති රීති මඟින් මාධ්‍ය පාලනය කරන්න පුළුවන් කියල මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ . ඒකට ස්වයං නියාමනයක් අවශ්‍යයි . එය ඇති විය යුත්තේ අපි තුළමයි . "
ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ඇසි දිසි රක්ෂණාවරණය , ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම මෙන්ම ජනමාධ්‍යවේදීන් ඇගයීමේ ජනාධිපති සම්මාන උළෙල සම්බන්ධයෙන් ද ආමාත්‍යවරයා පැහැදිලි කළේය .
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා , පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේෂ් රාඝවන් , උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස් . එම් . සමන් බන්දුලසේන , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක , යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂන් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම මාධ්‍යවේදී හමුවට සහභාගී වූහ .